කෘෂිකර්ම අමාත්‍යාංශය



ගරු අමාත්‍යතුමාගේ පණිවුඩය







ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් රාජකාරී භාර ගැනීමට ලැබීම ඉමහත් භාග්‍යයක් කොට සලකමි. ඒ අනූව රටේ ආහාර සුරක්ෂිතතාව හා සමෘද්ධිය ඇති කිරීම උදෙසා දරණ ප්‍රයත්නයේදී ඵලදායී වූත්, ශක්තිමත් වූත්, කෘෂිකාර්මික අංශයක් ස්ථාපිත කිරීම මාගේ අභිප්‍රාය වේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හරිත විප්ලවයෙන් ක්ෂීර විප්ලවය වෙත ප්‍රවේශ වන මෙවන් අවධියක, එහිලා අප දරණ ප්‍රයත්නයේ ප්‍රතිලාභ ජනතාව වෙත, විශේෂයෙන් ගොවිජනතාවට ලබා දීම අවශ්‍ය වේ. සංවර්ධනයේ ප්‍රතිලාභ මෙන්ම ආර්ථික සමෘද්ධිය අත්පත් කර ගැනීමේදී කෘෂිකර්මාන්තයට හිමිවන්නේ සුවි‍ශේෂි ස්ථානයකි. අප දරණ ප්‍රයත්නය වඩාත් අර්ථාන්විත හා ඵලදායී වන්නේ දියුණූ තාක්ෂණය එහිලා ප්‍රශස්ථව උපයෝගී කර ගැනීම තුලින් ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් වැඩි දියුණු කර ගැනීමෙනි.

ඒ අනූව කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත පැවරී ඇති ප්‍රධාන වගකීමක් වන්නේ ගොවියා ඇති හැකි අයෙකු බවට පත් කරලීමයී. එම අභිප්‍රාය සාක්ෂාත් කර ගත හැකි වන්නේ දේශීය ඉල්ලුම සපුරාලීමට පමණක් නොව, විදේශ වෙළඳපල සඳහා ඳ ආහාර නිෂ්පාදනය කිරීමට ගොවි ප්‍රජාව උනන්දු කර වීම මඟිනි.

සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම සමඟ නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් අඩු පිරිවැයකින් ඉහළ ඵලදාවක් ලබා ගැනීම සඳහා ගොවි ප්‍රජාව වෙත අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ පවත්නා ආයතන හැම විටම සූදානමින් සිටියි. ඒ සඳහා ගොවියා උගත්, තාක්ෂණික දැනුමෙන් හා ව්‍යාපාරික කළමණාකරණ දැනුම සහිත පුද්ගලයෙකු වීම අවශ්‍ය වේ. ඒ අනූව කෘෂි විද්‍යාල වලින් සපයනු ලබන දැනුමට අමතරව ගොවියාට අවශ්‍ය මූල්‍යමය හා තාක්ෂණ සහය ලබා දෙමින් ගොවි ප්‍රජාව වෙත මිත්‍රත්වයේ හස්තය දිගු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හැම විටම සැදී පැහැදී සිටියි.

ශක්තිමත් වූත්, අභිප්‍රායශීලී වූත්, මං පෙත් ඔස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශය මෙහෙයවමින් කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් නව දැක්මක් සහිතව පවත්නා අවස්ථා සුදුස්සන් වෙත පිරිනමමින් ද, ඉදිරියේ මුහුණ දීමට සිදුවන අභියෝග ජය ගනිමින් ද කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ රජයේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට කටයුතු කරන අතර, ස්වභාව ධර්මයේ අභියෝග වලට ද සාර්ථකව මුහුණ දෙමින් ජාතියේ කුසගිනි නිවාලන ගොවි ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිබඳ කැපවීම සනිටුහන් කරනු කැමැත්තෙමි.

ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ පණිවුඩය






ශ්‍රි ලංකා රජයේ අරමුණ වන්නේ නියත වශයෙන්ම කෘෂිකර්මාන්තය රටේ සංවර්ධනයේ පදනම බවට පත් කරලීමය. එබැවින් රට, ආහාර අතින් ස්වයංපෝෂිත කිරීම පමණක් නොව , සෞඛ්‍යයට හිතකර ආහාර නිෂ්පාදනය කරමින් ගොවි ප්‍රජාවගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීම තුළින් රට තිරසාර සංවර්ධනයක් කරා යොමු කිරීම ද එමඟින් ඉලක්ක කෙරේ.

ඒ අනූව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඉටු කළ යුතු මෙහෙවර සපුරාලමින් මතු සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීමට මට අවස්ථාවක් ලබා දීම ගැන අතිගරු ජනාධිපතිතුමන්ට, ගරු අමාත්‍යවරයාට මෙන්ම රටේ ජනතාවටත් මගේ කෘතවේදීත්වය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

නව සහශ්‍රකය උදා වීමත් සමඟ නව තාක්ෂණය මුසු කරමින් ද නව මං පෙත් ඔස්සේ පිය නගමින් ද කෘෂිකර්මාන්තයේ ප්‍රගමනයක් ඇති කිරීම අත්‍යාවශ්‍ය වේ. ඒ අනූව භෝග නිෂ්පාදනයේදී උපරිම පෝෂණ ගුණය සහතික කරමින් නවමු පියවරයන් ක්‍රියාත්මක කිරීම මඟින් ද අදාල ක්ෂේත්‍රෙයේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව තව දුරටත් වැඩි කළ යුතු වේ.

ඒ අනුව ඉහත සඳහන් ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මහතා සමඟ සහයෝගීව දැඩි අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් කටයුතු කිරීම මාගේ ඒකායන අරමුණ වේ.















ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පණිවුඩය







දේශයේ කෘෂි අංශය නඟා සිටුවීම සම්බන්ධයෙන් ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන් සමඟ කටයුතු කිරීමට අතිගරු ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් මා වෙත පිරිනමන ලද මහඟු අවස්ථාව නිහතමානීව පිළිගනිමි. රටේ ශ්‍රම බලකායෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් නියැලී සිටින එමෙන්ම ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 40% කට වැඩි ප්‍රමාණයක් වගා කටයුතු සිදු කෙරෙන මෙම අංශය නඟා සිටුවිම සමස්ථ ජනතාවගේ සුබසාධනය පිණිස වනු නොඅනුමානය.

උතුරේ මගේ නිහතමානී පදිංචිකරුවන්ට ප්‍රණාමය පිරිනමන අතරම ශ්‍රී ලංකාවේ දකුණු දිග් භාගයේ ජන්ම ලාභය ලැබූ ජනතා පුත්‍රයෙකු වූ ගරු කෘෂිකර්ම අමාත්‍ය තුමන් සමඟ මා අත්වැල් බැඳගන්නේ දේශයේ මතු දියුණුව පිළිබඳව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පෙරදැරිවය. තවද කඳු රටේ ජනතා නියෝජිතයෙකු වශයෙන් ප්‍රදේශයේ දියුණුවට අගනා දායකත්වයක් සපයා ඇති ගරු. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මැතිතුමන්ද සමඟ සමස්ථ ගොවි ප්‍රජාවගේ යහපත උදෙසා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට අපට කළ හැකි බොහෝ දේ ඇති බව මගේ අකලංක විශ්වාසයයි.

දිවා රෑ නොතකා වෙහෙස මහන්සියෙන් වගා කටයුතු වල නියැලී රටේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කැප වී සිටින ගොවි ප්‍රජාවට අවශ්‍ය සහාය ලබා දෙමින් උචිත පරිදි නව වගා ක්‍රම හා තාක්ෂණ ක්‍රම භාවිතයට ගොවීන් දිරිමත් කරමින් ඉදිරි දශක වලදී පසුබෑම් හා පාඩු අවම කර ගැනීමට ගොවි ප්‍රජාවට සෑම අනුබලයක්ම ලබා දීමට වෙර දරමි. පළමුව ගොවිජනතාවගේ දිවිපෙවෙත යහපත් කළ යුතුය. රටේ ආර්ථිකයට ඹවුන්ගේ දායකත්වය ලබා ගත හැක්කේ ඉන් අනතුරුවය. මෙම ඉලක්ක සාක්ෂාත් කර ගැනීමෙහිලා මගේ සහෝදර ගරු. අමාත්‍යතුමන්ලා සමඟ අත්වැල් බැඳ ගනිමි.

මෙවන් භාරදූර වගකීමක් මා වෙත පැවරීම ගැනත් නිදහස් ශ්‍රි ලංකාවේ මුල් අවධියේ පටන් ශක්තිමත් ආර්ථික අඩිතාලමක වර්ධනය වන මව්බිමේ කෘෂි අංශය නඟා සිටුවීමට දායකත්වය සැපයීමට මා හට අවස්ථාව ලබා දීම ගැනත් අතිගරු ජනාධිපතිතුමන්ට මාගේ කෘතඥතාව පලකිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. එක්සත් ජාතියක් වශයෙන් හැම අතින්ම රටේ තිරසාරත්වය හා සමෘද්ධිය ළඟා කර ගැනීමට හැකි වේවා යි පතමි.

ලේකම්තුමාගේ පණිවුඩය