කොම්පෝස්ට් නිෂ්පාදනයේදී බලපාන සාධක

  • අමුද්‍රව්‍ය වල කාබන් හා නයිට්‍රජන් අනුපාතය
  • උෂ්ණත්වය
  • තෙතමනය
  • වාතනය
  • ප්‍රතික්‍රියා තත්වය
  • පෙරලීම
  • ක්ෂුද්‍ර ජීවීන් එක් කිරීම
  • අමුද්‍රව්‍ය කැබැලි වල ප්‍රමාණය
  • මූලද්‍රව්‍ය සැපයීම
 
අමුද්‍රව්‍ය වල කාබන් නයිට්‍රජන් අතර අනුපාතය
  • කාබන් මඟින් ක්ෂුද්‍ර ජීවීන් ශක්තිය ලබාගනී.ක්ෂුද්‍ර ජීවීන්ගේ සෛල වල ප්‍රෝටීන් නිපදවා ගැනීම සඳහා නයිට්‍රජන් අත්‍යාවශ්‍ය වේ.
  • කාබන් හා නයිට්‍රජන් අනුපාතය අඩු අමුද්‍රව්‍ය ඉක්මණින් දිරාපත් වේ.
  • කාබන් හා නයිට්‍රජන් අනුපාතය වැඩි අමුද්‍රව්‍ය දිරාපත් වීමට වැඩි කාලයක් ගතවේ.
  • ප්‍රශස්ත කාබන් හා නයිට්‍රජන් අනුපාතය 30:1 හෝ 40:1 කි.
  • කාබන් හා නයිට්‍රජන් අනුපාතය අඩු වූ විට ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වේ.වැඩිපුර නයිට්‍රජන් අඩංගු අමුද්‍රව්‍ය ලෙස රනිල ශාක,ළපටි කොළ,සත්ව අපද්‍රව්‍ය යනාදිය භාවිතා කල හැකිය.
  • කාබන් හා නයිට්‍රජන් අනුපාතය වැඩි අමුද්‍රව්‍ය,අනුපාතය අඩු අමුද්‍රව්‍ය සමඟ මිශ්‍රකර භාවිතා කිරීම මඟින් දිරාපත් වීම ඉක්මන් කල හැකිය.
උෂ්ණත්වය
අධික උෂ්ණත්වයේ ප්‍රයෝජන
  • වල් ඇට මැරීයාම.
  • රෝග කාරක විනාශ වීම.
  • අහිතකර ක්ෂුද්‍ර ජීවීන් විනාශ වීම.
සෙන්ට්‍රිග්‍රේට් අංශක 70 ට වඩා අධික උෂ්ණත්ව කොම්පෝස්ට් නිෂ්පාදනයට හානිදායකය.අධික උෂ්ණත්ව වලදී ක්ෂුද්‍ර ජීවීන් විනාශ වීම නිසා දිරාපත් වීම අඩු වේ.
වැඩි කාබන් හා නයිට්‍රජන් අනුපාතයක් ඇති අමුද්‍රව්‍ය අධික ලෙස භාවිත කිරීමෙන් ප්‍රශස්ථ උෂ්ණත්වයක් පවත්වා ගැනීමටද අපහසු වේ.ප්‍රශස්ථ උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේට් අංශක 55-60 වේ
උෂ්ණත්වයට බලපාන සාධක
  • ගොඩේ ප්‍රමාණය
  • තෙතමනය
  • කාබන් හා නයිට්‍රජන් අනුපාතය
  • පෙරළීම
ගොඩ ආවරණය කිරීමෙන් ගොඩේ උෂ්ණත්වය වැඩි කරගත හැකිවේ.

තෙතමනය
  • ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාවලියට ජලය අඩංගු වේ.
  • තෙතමනය අඩු විට ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාවලිය අඩු වේ.
  • අධික ලෙස ජලය තිබීමෙන් වාතය අඩුවීම නිසා දිරාපත් වීමට අපහසුතා ඇතිකරයි.
  • භාවිතා කරන මූලද්‍රව්‍ය වල ප්‍රශස්ථ තෙතමනය 50%-60% කි.
  • අධික ලෙස ජලය තිබීමෙන් නිර්වායු තත්වයක් ඇති වේ.
  • වියළි කාලයේදී උල් කරගත් ලීයක් ගොඩ තුලට ඇතුල් කිරීමෙන් තෙතමනය පරීක්ෂා කර බලා දින කිහිපයකට වරක් ජලය යෙදීම සිදුකල යුතුවේ.
  • කොම්පෝස්ට් ගොඩ වර්ෂා ජලයෙන් ආරක්ෂාකර ගත යුතුය.
 
වාතනය

කොම්පෝස්ට් නිෂ්පාදනයේදී ගොඩ තුලට ඔක්සිජන් ලැබිය යුතු අතර නිෂ්පාදනය වන කාබන්ඩයොක්සයිඩ් පිටවිය යුතුය.
  • ඔක්සිජන් නොලැබුනහොත් ගොඩ තුල නිර්වායු තත්වයක් ඇතිවේ.
  • එවිට ගොඩ තුල ආම්ලික තත්වයක් ඇති වී දුගඳක් ඇති වේ.
  • හොඳ වාතනයකට විවිධ අමුද්‍රව්‍ය මාරුවෙන් මාරුවට තට්‍ටු ලෙස භාවිතා කළයුතුය.
  • හොඳ වාතනයකට පෙරළීම ප්‍රයෝජනවත් වේ.
  • උණ බම්බු ,ලී, පී.වී.සී.බට, තබා ගොඩ සෑදීමෙන් ගොඩ තුළට වාතය ලබාදිය හැකිය.
ගොඩේ පළල විශාල වීමෙන් එහි වාතනය දුර්වල වනු ඇත
ප්‍රතික්‍රියා තත්වය
  • කොම්පෝස්ට් ගොඩේ පී.එච් අගය ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට වැදගත් වේ.
  • භාෂ්මික තත්වයකදී ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වේ.
  • මේ නිසා අළු හෝ අළු හුණු භාවිතා කිරීම කොම්පෝස්ට් නිෂ්පාදනයේදී සිදු නොකල යුතුය.
  • එසේම භාෂ්මික තත්වයකදී අමුද්‍රව්‍යවල අන්තර්ගත නයිට්‍රජන් ඇමෝනියා වායුව ලෙස පිට වී අපතේ යනු ඇත.
  • කොම්පෝස්ට් නිෂ්පාදනය අවසන් වූ පසු පමණක් අළු මිශ්‍ර කිරීම සිදු කරන්න.
පෙරළීම
  • ගොඩේ ඇතුළත ප්‍රදේශවලට වාතය සැපයේ.
  • දිරාපත් නොවූ අමුද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවීන්ට නිරාවරණය වේ.
  • අවශ්‍ය නම් ගොඩ තුළට ජලය සැපයිය හැකිය.
  • පෙරළීම සඳහා ශ්‍රමය හා මුදල් වැය වේ.
  • මේ නිසා කොම්පෝස්ට් නිපදවීමේදී පෙරළිය යුතු අවස්ථා ගණන උපරිම ලෙස 03කි.
  • පෙරළීමෙන් අධික තෙතමනයක් ඇත්නම් වියළීමට අවස්ථාවන් උදා වේ.
ජීවීන් එක් කිරීම
  • දිරාපත් වීම සඳහා දිලීර,බැක්ටීරියා,ඇක්ටිනෝමයිසිටිස් ප්‍රොටොසෝවා,මයිටාවන් වැනි ක්ෂුද්‍ර ජීවීන් උපකාරී වේ.
  • කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රධාන ලෙස දිලීර මඟින් සිදු කෙරේ.
  • දිරාපත් කිරීමේ ක්‍රියාවලියට ක්ෂුද්‍ර ජීවීන් අත්‍යාවශ්‍ය නිසා කොම්පෝස්ට් නිපදවීමේදී ස්ථර කිහිපයකට වරක් නිෂ්පාදනය කල කොම්පෝස්ට් (මුහුන්) ස්වල්පයක් ඉසීම කල යුතුය.
  • මෙමඟින් ගොඩ තුලට ක්ෂුද්‍ර ජීවීන් එක් කිරීම සිදු කෙරේ.
අමුද්‍රව්‍ය කැබැලිවල ප්‍රමාණය
  • කුඩා කැබැලි පහසුවෙන් ක්ෂුද්‍ර ජීවීන්ට ක්‍රියා කිරීමට හැක.
  • කැබැලි වඩාත් කුඩා වීමෙන් තද වීම නිසා ගොඩ තුලට වාතය ලැබීමට හා පිටවීමට බාධා පමුණුවයි.
  • විශාල ප්‍රමාණයේ කැබැලි මත ක්ෂුද්‍ර ජීවීන්ට ක්‍රියා කිරීමට අපහසු වේ.
  • ප්‍රශස්ථ කැබැලි ප්‍රමාණය සෙ.මී.5ක් පමණ වේ.
  • යන්ත්‍රානුසාරයෙන් ගොඩට වාතය සපයයි නම් කැබැලිවල ප්‍රමාණය සෙ.මී. 1ක් දක්වා වුවද කුඩා විය හැකිය.
  • කැබැලි කිරීම සඳහා මුදල් හා ශ්‍රමය වැය වේ.
  • මේ නිසා සාමාන්‍ය කොම්පෝස්ට් නිෂ්පාදනයේදී කැබැලි කිරීම අවශ්‍ය නොවේ.
මූලද්‍රව්‍ය සැපයීම
  • බොහෝ විට අමුද්‍රව්‍ය වල අන්තර්ගත පොස්ෆරස් ප්‍රමාණය අඩුය.
  • ලංකාවේ දක්නට ලැබෙන පසේ අන්තර්ගත පොස්පරස් ප්‍රමාණයද අඩු මට්ටමක පවතී.
  • එබැවින් කාබනික පොහොර වල අන්තර්ගත පොස්පරස් ප්‍රමාණය වැදගත් වේ.
  • මේ සඳහා රොක් පොස්පේට් භාවිතා කල හැකිය.
  • එවිට ක්ෂුද්‍ර ජීවීන්ගෙ ක්‍රියාකාරීත්වය වැඩි වේ.
  • කොම්පෝස්ට් නිෂ්පාදනයේදී රොක්පොස්පේට් වල ද්‍රාව්‍යතාවයද වැඩි වනු ඇත.
රොක්පොස්පේට් භාවිත කර නිෂ්පාදනය කළ කොම්පෝස්ට් කාබනික වගාවට වුවද භාවිතා කළ හැකිය