කෘෂිකාර්මික සංවර්ධනයට කෘෂි යාන්ත්‍රීකරණය

කෘෂිකාර්මික නිෂ්පාදනයන්හි ඵලදායිතාව රඳාපවතින්නේ ඒ සඳහා උපයෝගී කරගනු ලබන උසස් රෝපණ ද්‍රව්‍ය, කාබනික පොහොර වර්ග භාවිතය, ජල කළමනාකරණය හා නව තාක්ෂණික දැනුම උපයෝගී කරගත් කෘෂි උපකරණයන් භාවිතයෙන් ගොඩනගන සාමුහික ක්‍රියාදාමය මතයි.

කෘෂිකර්මාන්තයේ දී බීජ වැපිරීමේ සිට අස්වනු නෙලීම දක්වා තව දුරටත් ශ්‍රි ලංකාවේ සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කිරීම හේතුවෙන් අපේක්ෂිත අස්වැන්න ලබාගත නොහැකි වී තිබේ. වල් මර්දනය, පොහොර යෙදීම හා මුලික බිම් සැකසීම යන අදියර වලදී කාලානුරූපව නිර්මාණය කරගත් කෘෂි උපකරණ උපයෝගී කරගැනීම මගින් අස්වැන්න වැඩි කරගැනීමත් ගොවීන්ගේ කාර්යක්ෂමතාවය වර්ධනය කර ගැනීමට හා භූමියේ උපරිම ප්‍රයෝජන ගැනීමටත් හැකිවේ.

ආසියානු රටවල් කෘෂි යාන්ත්‍රිකරණයට නැඹුරුවන්නේ පනහේ දශකයෙන් පසුව වන අතර එහෙත් බහුලව බෝග නිෂ්පාදන ක්‍රියාවලියට මිනිස් ශ්‍රමය සත්ව බලය උපයෝගී කරගනු ලැබින. දෙවන ලෝක යුද්ධයෙන් පසු කාර්මීකරණයේ දියුණුවත් සමඟ කෘෂිකර්මයට නතු වු ප්‍රථම රට වන්නේ ජපානය යි. කොරියාව, චීනය, තායිවානය ආදී රටවල් මෙයට සාපේක්ෂව ජපානය අනුව යමින් කෘෂිතාක්ෂණීකරණය ට යොමු විය. මේ තත්ත්වයට ඉමහත් පිටුබලයක් වුයේ ජපානය හඳුන්වාදුන් ද්වි - රෝද ට්‍රැක්ටරය වැඩි දියුණු කර ලෝක වෙළඳපලට හදුන්වාදීමත් සමඟය. (යකඩ මී හරකා) මෙහි පවත්නා සැහැල්ලු භාවයත් මෙයට විවිධ කෘෂි උපකරණ සම්බන්ධ කර ප්‍රයෝජනයට ගත හැකි නිසාත් මෙය ජනප්‍රිය කෘෂි යාන්ත්‍රික උපකරණයක් බවට පත්විය.

දකුණු ආසියානු කලාපයේ පාකිස්ථානය හා ඉන්දියාව රෝද දෙකේ අත්ට්‍රැක්ටරය 70 දශකයෙන් පසු එම රටවල ව්‍යාප්ත විය. මෙයට හේතුවුයේ ග්‍රාමීය ප්‍රදේශවල ශ්‍රමිකයන් වැඩි වැටුප් සඳහා නගරයට සංක්‍රමණය වීමයි. පසුකාලීනව මෙම රටවල්ද ද්වි- රෝද ට්‍රැක්ටර්, බීජ වප්කරය , වල් නෙළන යන්ත්‍ර , ස්ථාවර අස්වනු පාහින යන්ත්‍ර හා ජල සම්පාදන උපකරණ සීඝ්‍ර නැඹුරුවකට යොමු විය. එයට හේතු වුයේ එරට කෘෂිකර්මාන්තයේ නිරත වු ශ්‍රමිකයන් කාර්මික අංශයේ රැකියා කෙරේ යොමු වීමයි.

දේශීය කෘෂිකර්මාන්තය යාන්ත්‍රිකරණයට නැඹුරු කළ යුතු වන්නේ මෙවැනි පසුබිමක් යටතේ යි. විශේෂයෙන් ලංකාවේ බෝග අස්වනු නෙලන කාලය වනවිට ශ්‍රමිකයන් සොයාගැනීමට අපහසුවීම, අස්වැන්න නියමිත කාලයට නෙලා ගැනීමට නොහැකිවීම, කාලගුණික සාධක ආදිය නිසා නියමිත කාලයට අස්වැන්න එක්රැස් කරගැනීමට නොහැකි වීම ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ දැකිය හැකි තත්ත්වයකි. එමෙන්ම පසු අස්වනු හානිය සලකා බැලීමේදී අස්වනු නෙළීම හා ඒ සඳහා ගතවන කාලය හා නෙළනක්‍රම ඉතා වැදගත් සාධකයකි. මේ සාධක කෘෂිකාර්මික දත්තවලින් පැහැදිලිවන තත්ත්වයක්.

මෙම පසුබිම මත ශ්‍රීලංකාවට වඩාත් යෝග්‍ය වන්නේ විවිධ යන්ත්‍රෝපකරණවලට සවිකර ඇදගෙන යනු ලබන සරල හා සැහැල්ලු සරල යාන්ත්‍රික උපකරණයන්ය. මුලික බිම් සැකසීමේ සිට , ද්විතියික බිම් සැකසීම, බීජ හෝ ශාක රෝපණය කිරීම, අතුරුයත් ගෑම, පොහොර යෙදීම, පළිබෝධ මර්ධනය, අස්වනු නෙළාගැනීම, අස්වනු ශුද්ධ කිරීම, පිරිසිදු කරගත් අස්වනු ගබඩා කරණය හා පාරිභෝජනය සඳහා මෙම අස්වනු සැකසීම ආදී මුළුමහත් ක්‍රියාදාමය යාන්ත්‍රික උපකරණ භාවිතයෙන් සිදුකරලීම යාන්ත්‍රික කෘෂි කර්මාන්තය ලෙස සරලව හැදින්විය හැක. දේශිය කෘෂිකර්ම අංශයේ ප්‍රවර්ධනය කරලීම උදෙසාත් කෘෂි ප්‍රජාව ආර්ථික අංශයෙන් ශක්තිමත් ප්‍රජාවක් වීමත්, මෙම යාන්ත්‍රික කෘෂිකර්මාන්තයට ප්‍රවේශ වීමෙන් ලබාගත හැකි මහඟු ප්‍රතිලාභයන්ය. මෙමගින් රටේ සංවර්ධන මාවතට සෘජු ප්‍රවේශවන මාවතක් නිර්මාණය වනු ඇත.
ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම සංවර්ධන ක්‍රියාවලිය සැලසුම් සහගත රාමුවක් තුළ සඵලදායිවන ලෙස වේගවත් කිරීම උදෙසා කෘෂිකර්මාන්තය වටා බැදුනාවු සියළුම අංශ යාන්ත්‍රිකරණය කිරීම සඳහා යොවි ප්‍රජාව යොමුකරවාගැනීම ප්‍රමඛ අවශ්‍යතාවයකි. ඒ සඳහා ඔවුන් බලගැන්වීමට උචිත සන්නිවේදන මාධ්‍යභාවිතය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ අරමුණයි. මෙහි ප්‍රමුඛ කාර්‍යයක් ඉටුකරලීමට අප නිල වෙබ් අඩවිය තුළ කෘෂි යාන්ත්‍රිකරණය ලෙස වෙනම අංශයක් වෙන් කර ඇත්තේ මෙම අරමුණු උදෙසායි.
 
මෙම අංශය තුළ කෘෂිකර්මය සඳහා භාවිතාවන්නාවු සියළුම යාන්ත්‍රික අංශ අන්තර්ගත කරලීමට පියවරගෙන ඇත. එහි සැකැස්ම පහත පරිදි වේ.

  1. මුලික බිම් සැකසීමට අවශ්‍ය යන්ත්‍රික උපකරණ
  2. බීජ රෝපණය හා පැළ සිටුවීම සඳහා යාන්ත්‍රික උපකරණ
  3. භෝග අස්වනු නෙළිම හා සැකසීමට භාවිතා කරන යාන්ත්‍රික උපකරණ
  4. පළිබෝධ නාශක භාවිතය සඳහා යාන්ත්‍රික උපකරණ
  5. වල්පැළෑටි මර්දනය කරලීම උදෙසා භාවිතාවන යාන්ත්‍රික උපකරණ
  6. වගා බිමට ජල සම්පාදනය සඳහා යාන්ත්‍රික උපකරණ
  7. අස්වනු ගබඩා කරලීමට අවශ්‍ය යාන්ත්‍රික උපකරණ
  8. කෘෂි නිෂ්පාදන ඇසුරුම් කිරීමට අවශ්‍ය යාන්ත්‍රික උපකරණ
  9. ආරක්ෂක උපායමාර්ග