ගල්සියඹලා

ගල් සියඹලා



















Order : Fabales
Family : Fabaceae
Genus : Dialium L.
Species : Dialium ovoideum Thw.

ගල් සියඹලා ශ්‍රි ලංකාවේ වනාන්තර වල ස්වාභාවිකව වැවෙන ඉතා රසවත් පලතුරකි. වනාන්තර තුළ මීටර් 10-25 පමණ ඉහළට වැඩුණු ගල් සියඹලා ගස් පහසුවෙන් හඳුනා ගැනීමට සිනිඳු මතුපිටක් හා අළු-රතු-දුඹුරු පැහැති කුඩා සලකුණු ඇඳුනු ශාක කඳන් ද අස්වනු නෙලීමේදී ගස මුල කපා හෙලන ලද අතු රිකිලිද උපකාරි වේ. ගල් සියඹලා කඳෙහි ප්‍රමාණය සෙ.මී 80-300 ක් දක්වා වෙනස්වන අතර පත්‍ර එතරම් විශාල නැත. කුඩා දිගටි පරිනත පත්‍ර තද කොළ පැහැතිය.

ගල් සියඹලා පුෂ්ප
ගල් සියඹලා පුෂ්ප මංජරියක්



















මලින් පිරුණු ගල් සියඹලා ශාක වියනක්




















ගල් සියඹලා ඵලය
ගල් සියඹලා ඵලයට ආවේනික වූ ප්‍රනීත ඇඹුල් රසය රැදී ඇත්තේ බීජ වටා පිහිටි දුඹුරු පැහැති සවිවර පල්පයේය. එම පල්පය වටා ඇති කළු - දුඹුරු පැහැති වෙල්වට් ඇතිරිල්ලක් බදු ඵලාවරණය නිසා එයට ඉංග්‍රීසි බසින් වෙල්වට් ටැමරින්ඩ් (Velvet tamarind) යන නම ලැබී ඇතැයි සිතිය හැකිය.

දේශගුණික අවශ්‍යතා සහ ව්‍යාප්තිය
ගිණිකොන දිග ආසියාව තුළ ව්‍යාප්තව පවතින ගල් සියඹලා වියළි දේශගුණයට හොදින් හැඩ ගැසී ඇති ශාකයකි. ශ්‍රි ලංකාවේ වියළි කලාපීය පහත්බිම්වල හා අතරමැදි කලාපයේ ඇතැම් ප්‍රදේශවල මෝසම් වැසි වනාන්තර තුළ ද මෙම ශාකය හොඳින් පැතිරී තිබේ. වියළි කලාපයේ අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, කුරුණෑගල, මොණරාගල සහ අම්පාර ආදි දිස්ත්‍රික්කවල ගල් සියඹලා බහුලව දක්නට ලැබේ. ස්වාභාවික වනාන්තර තුළ වැඩෙන ගල් සියඹලා, විශාල ගල් සහිත තැනිතලා හෝ බෑවුම් සහිත පරිසරයකදී දක්නට ලැබීමද විශේෂිත කරුණකි. මෙලෙස දේශීයව ගල් සියඹලා යන නම ලැබී ඇත්තේ ගල් සියඹලා ස්වාභාවිකව වැවෙන ගල් සහිත පරිසරය නිසාදැයි සැක සිතේ.වියළි කලාපීය වනාන්තරයක් තුළ ස්වාභාවිකව ගල් සියඹලා වැවෙන ගල් සහිත පරිසරය (දිඹුලාගල)ස්වාභාවිකව වැවෙන ඉපැරණි ගල් සියඹලා ශාකයක කඳක්

ප්‍රචාරණය
ගල් සියඹලා බීජ පැළ තවානක්(ගන්නොරුව)ගල් සියඹලා වගා කිරීම සඳහා බීජ පැළ යොදා ගත හැකිය. වර්ධක ප්‍රචාරණයෙන් ගල් සියඹලා ප්‍රචාරණය කරගත හැකි බවට තවමත් දත්ත නොමැත. වනාන්තර තුළ ඉතා විශාල ගස් පිහිටිය ද වන යටිරෝපණය තුළ නව බීජ පැළ දැක ගැනීමට නොහැකිය. වඳුරන්, මුවන් වැනි සතුන් ගල් සියඹලා බීජ ආහාරයට ගැනීම හෝ වෙනත් පාරිසරික හෝ ජෛව විද්‍යාත්මක බලපෑමක් එයට හේතුවිය හැකිය. පර්යේෂණ දත්ත අනුව, වැලි තවාන් හෝ සාමාන්‍යය බඳුන් මිශ්‍රණය තුළ බීජ ප්‍රතිකාරක රහිතව ගල් සියඹලා බීජ ප්‍රරෝහණයට දින 10-14 ක් පමණ ගතවේ. ප්‍රරෝහණ ප්‍රතිශතය 50% පමණ වේ. බීජ පැය 16ක් ජලයේ පොගවාගත් විට ප්‍රරෝහණය ඉක්මන් වේ. ප්‍රරෝහණ ප්‍රතිශතය අඩුවීමට ගල්සියඹලා හොඳින් පැසී නොපැවතීම හා පළිබෝධ හානි හේතු වේ. කාමර උෂ්ණත්වයේදී සහ ශීීතකරණ තත්ත්ව යටතේදී වසරක පමණ කාලයක් බීජ වල ජීව්‍යතාවය නොනැසෙන සේ ගබඩා කළ හැකිය.

වගා කිරීම
බඳුනක සිටවූ ගල් සියඹලා පැළයක් (ගන්නොරුව)තවමත් ගල් සියඹලා පලතුරක් ලෙස වගා කිරීම සිදු නොකෙරේ. වනයට සීමාවී ඇති මෙම වටිනා පලතුරු ශාකය, වඳවීයාමේ අවදානම නිසාම වගාකළ හැකි පලතුරක් ලෙස වැඩි දියුණු කිරීම ඉතා කාලෝචිතය. ගල් සියඹලා ඉතා සෙමින් වැවෙන ශාකයකි. වියළි දේශගුණික තත්ත්ව යටතේ හොඳින්වැඩේ.හොඳින් ජලය බැසයන පසක් සුදුසු වන අතර කුඩා අවධියේදී තද හිරු එළිය යෝග්‍ය නොවේ. ගල් සියඹලා විශාල බඳුන්වල සිටුවා කුඩා ගෙවත්තක වුවද වගාකර ගත හැකිය. එමෙන්ම භූමි අලංකරණයට සුදුසු ඉතා දැකුම්කළු ශාකයකි.

අස්වනු නෙළීම
වෙළඳපොළට එන ගල් සියඹලා නෙළාගනු ලබන්නේ ස්වභාවික වනාන්තර වලිනි. එනමුත් ගල් සියඹලා ඵල දරන්නේ වසරකට වරක් හෝ වසර කිහිපයකට වරකි. වසරේ පෙබරවාරි - මැයි දක්වා මාස තුළ මල් පිපීම අරඹන ගල් සියඹලා වෙළඳපොලෙහි දක්නට ලැඛෙනුයේ අගෝස්තු සිට නොවැම්බර් දක්වා වූ කාලය තුළදීය. පළමුව සුදු පැහැති ඉතා කුඩා මල් සහිත පුෂ්ප මංජරි වලින් පිරීයන ගල් සියඹලා ශාකයේ අතු අග පසුව කළු දුඹුරු පැහැ ඵලවලින් බරවී යයි. මේ අනුව කොළ පැහැති ශාක වියන මල් පිපෙන අවධියේදී සුදු පැහැයෙන් බැබළී ඉන් අනතුරුව ගෙඩි වලින් පිරී යන විට තද දුඹුරු කළු පැහැයෙන් වැසී ඉතා අලංකාර දර්ශනයක් මවයි. පැසුණු ගල් සියඹලා සාමාන්‍යයෙන් නෙළාගන්නේ ඵල බර අතු රිකිලි කපා බිම හෙළීමෙනි. වනයේදී රැස්කරගත් ගල් සියඹලා ගෝනි වල අසුරා විශාල වශයෙන් වෙළඳ පොළවලට ගෙන යයි. මේ අන්දමට ගල් සියඹලා ශාකයේ අතු රිකිලිවලට කෙරෙන විනාශයේ ප්‍රතිඵල සීමා රහිතය. විශේෂයෙන්ම මෙම විනාශයේ ස්වාභාවය අනුව ඊළඟ ඵල දැරීමේ කාලසීමාව තීරණය වේ. එම නිසා විශාල අතු රිකිලි කපා විනාශ කිරීමෙන් තොරව ගල් සියඹලා පොකුරු පමණක් හෝ ගල් සියඹලා සහිත කුඩා අතු රිකිලි පමණක් නෙලා ගනිමින් අස්වනු නෙළීම ක්‍රමවත්ව සිදු කිරීම ඉතා වැදගත්ය.

භාවිත
හොඳින් පැසුණු ගල් සියඹලා නැවුම් පලතුරක් ලෙස භාවිතා වේ. මෙම ගල් සියඹලා රසය හා පෙනුම වෙනස් නොවන ආකාරයට වසරක පමණ කාලයක් වුවද ශීතකරණ තත්ත්ව යටතේ ගබඩාකර තබාගත හැකි බැවින් වසරකට වරක් ලැඛෙන අස්වැන්න සුරක‍ෂිතව භාවිත කිරීමේ හැකියාවද ඇත. එසේම වෙන් කර වියළා ගත් පල්පය වටා සීනි හෝ මිරිස් වැනි රසකාරක තැවරීමෙන් අගය වැඩි කළ නිෂ්පාදන සැකසීමේ හැකියාවක් ද ඇත. විසිරී පැතිරී වැඩෙන අතු සහ කුඩා දිගටි පත්‍ර නිසා ගෙවතු අලංකරණය සඳහා ද භාවිත කළ හැකි ශාකයකි. ශාක වියන පුරා මල් හා ඵල හට ගන්නා ගල් සියඹලා ස්වාභාවිකව ඉතා අලංකාර ශාකයකි. තද රත් පැහැයෙන් යුත් ගල් සියඹලා දැවය ගෘහභාණ්ඩ හා කැටයම් නිෂ්පාදනයට යොදා ගැනීමේ හැකියාව ඇත.අස්වනු නෙළීමේදී මිනිසුන් විසින් මෙම ශාකයට කෙරෙන විනාශය ගල් සියඹලා ශාකයේ ඉදිරි පැවැත්මට අයහපත් බලපෑමකි. දැනට පවතින ගල් සියඹලා ශාක ආරක්ෂා කිරීමත්, ඒවා පවතින වනාන්තර සංරක්ෂණය කිරීමට කටයුතු කිරීමත් ඉතා වැදගත් වේ. අස්වනු නෙලීමේ තාක‍ෂණය වැඩි දියුණු කිරීමත්, පසු අස්වනු හානිය අවම කර වසරේ අනෙකුත් කාලසීමාවලදී ප්‍රයෝජනයට ගත හැකිවන සේ ගබඩා තත්ත්ව දියුණු කිරීමත්, ගල් සියඹලා භාවිතයට ගතහැකි අගය වැඩි කළ නිෂ්පාදන හඳුනාගැනීමත් අත්‍යවශ්‍යවේ. එමෙන්ම ගල් සියඹලා කෘෂි වන වගා සඳහා වගා කිරීමට සලකා බැලීමත් එලෙස ආර්ථීකමය වැදගත් බෝගයක් ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව තවදුරටත් සොයා බැලීමත් ඉතා වැදගත්වේ.