පැපොල් (Papaw)




උද්භිද විද්‍යාත්මක නාමය -කැරිකා පැපායා (Carica papaya)
කුලය- Caricaceae
නිර්දේශිත ප්‍රභේද

වාණිජ පැපොල් වගාව

කැරිකේසියේ (Caricaceae) කුලයට අයත් Carica papaya ලෙස උද්භිද විද්‍යාත්මකව හැඳින්වෙන පැපොල් ඇමරිකාවේ නිවර්තන ප්‍රදේශයේ සම්භවය වී ඇත. ඉක්මනින් වර්ධනය වී මාස 8-9 කාලයකදී අස්වනු ලබාදීමත් ඉහල අස්වැන්නත්, ඉහළ පෝෂණ ගුණයත් නිසා පැපොල් බොහෝ නිවර්තන රටවල අතිශයින් ජනප්‍රිය බෝගයක් බවට පත්වී ඇත. වැඩි දියුණු කල පැපොල් ප්‍රභේද හෝ දෙමුහුම් ප්‍රභේද වලින් අවුරුද්දකට හෙක්ටයාරයකින් මෙ.ටොන් 60-100 අස්වනු ප්‍රමාණයක් ලබා ගත හැකිය. ඉඳුන පැපොල් ඉතා මිහිරි රසයකින් හා සුවඳකින් යුක්ත වන අතර එහි විටමින් A හා C සුලබය. එමෙන්ම එළවළුවක් ලෙසද, බීම, ජෑම්, කෝඩියල් වැනි නිශ්පාදන සඳහා ද චුවින්ගම්, සබන්, දන්තාලේප, ඖෂධ නිපදවීම, සම් පදම් කිරීම වැනි කර්මාන්ත සඳහාද පැපොල් භාවිතා කරයි.

වගා කරන ප්‍රභේද

ගෙවතුවල දේශීය ප්‍රභේද බහුල වුවද වාණිජ වගාවකදී වැඩි අස්වනු දෙන ප්‍රභේද වගා කල යුතුය. රෙඩ්ලේඩි, සින්ටා, Tainung No. 1, Tainung No. 2 හා Sunrise solo යන පිටරටින් ආනයනික බීජ වර්ග මගින් මෙරට වගාකරන දෙමුහුම් වර්ග වේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශිත පලමු නුමුහුම් පැපොල් ප්‍රභේදය වන රත්න ඉතා රසවත්, මධ්‍යම කුඩා ගෙඩි (800g-500 පමණ) දරණ සිත් ඇද ගන්නා බාහිර පෙනුමකින් යුත් මෙම ප්‍රභේදය පැපොල් මුදු පුල්ලි වෛරස් රෝගයට පහසුවෙන්ම පාත්‍රවේ. එමෙන්ම කුඩා කාලගුණික වෙනස්වීමකට වවුද ප්‍රතිචාර දක්වයි. මේ නිසා කුඩාඵල හටගැනීම, අක්‍රමවත් ඵල හට ගැනීම වැනි තත්වයන් දක්නට ඇත.

හොරණ පාපායා හයිබ්‍රිඩ් - 1

මෙහි රතු පැහැති මාංසලය ඉතා රසවත්ය. සීනි ප‍්‍රමාණය (Brix) 12.5 ක් පමණ වේ.
ගෙඩියක සාමාන්‍ය කි.ග්‍රෑම් 1.2 - 2 ත් පමණ වේ.
වසරකදී එක ගසකින් ගෙඩි 50ක් 60ක් පමණ හටගනී.
පැපොල් මෘදු පුල්ලි වෛරස් රෝගයට තරමක බොහෝ දුරට ප්‍රතිරෝධිතාවයක් දක්වයි.
වියලි හා අතරමැදි කලාපවල ඉතා ඉහල අස්වනු ලබාදෙන අතර තෙත් කලාපයේද වෙනත් පැපොල් වර්ගවලට වඩා වැඩි අස්වැන්නක් ලබාදේ.




හොරණ පාපායා හයිබ්‍රිඩ් - 1


රත්න


ගෙඩියක සාමාන්‍ය බර ග‍්‍රෑම් 600-800 පමණ වේ.
ගසක සාමාන්‍යයෙන් වසරකදී ගෙඩි 40 ක් පමණ හට ගනී.
ගෙඩි වල ගුණාත්මය අපනයනය සඳහා යෝග්‍යය.
ශාකයේ කඳෙහි සම පරතරයෙන් ගෙඩි හටගනී.
ඉදුනු ගෙඩියේ කහ පැහැය ගෙඩිය පුරාම ඒකාකාරීව පවතින අතර ප‍්‍රවාහනයේදී එතරම් හානිද නොවේ.
පිට පොත්ත දැකුම් කළුය. පැල්ලම් රහිතය.
තද ගතිය වැඩි අතර, පැපොල් වල ඇති ප‍්‍රසන්න නොවු ආවේණික සුවඳ මෙම වර්ගයේ නොමැත.
මනා රසයෙන් යුත් රතු පැහැති මදයක් හෙවත් මාංශලයක් ඇත. සීනි ප‍්‍රමාණය (Brix) 13 ක් වේ.
මෙම ප‍්‍රභේදය පැපොල් මුදු පුල්ලි වෛරස් රෝගයට ප‍්‍රතිරෝධී නොවන බැවින් තෙත් කලාපයට නිරර්දේශ කරනු නොලැබේ. වියළි කලාපයේදී වුවද මුදු පුල්ලි වෛරස් රෝගයට පාත‍්‍රිවිය හැක.


රෙඞ් ලේඩි


උසස් ගුණාත්මයෙන් යුත්, වැඩි අස්වැන්නක් ලබා දෙන, ආනයනික දෙමුහුම් වර්ගයකි.
එක් ඵල දරන වසරකදී ගසකින් ගෙඩි 60-80 ක් පමණ ලබා ගත හැකිය.
ඡුායාංගි ගස්වල ගෙඩි රවුම් වන අතර, ද්වි ලිංගික ගස් වල ගෙඩි දිගැති හැඩයක් ගනී.
ගෙඩියක බර කි.ග‍්‍රෑම් 1.5-2.0 අතර වේ.
මාංශලය රතු පැහැයක් ගන්නා අතර, සීනි ප‍්‍රමාණය (Brix) 12 ක් වේ.
රෙඞ් ලේඩි ප‍්‍රභේදයද මුදු පුල්ලි වෛරස් රෝගයට ප්‍රථිරෝධීය.


දේශගුණික අවශ්‍යතා හා පස
දේශගුණික අවශ්‍යතා

දේශගුණය

පහතරට තෙත් හා වියළි කලාපයේත්, අතරමැදි කලාපයේත් මුහුදු මට්ටමේ සිට මීටර් 500 පමණ දක්වා වූ මැදරට ප‍්‍රදේශයේත් සාර්ථකව පැපොල් වගා කළ හැකිය. පහතරට තෙත් කලාපයේදී වගා වෛරස් රෝගයන්ට පාත්‍රී වන බැවින් එම රෝග වලට ඔරෙත්තු දෙන ප්‍රෙභ්ද වගා කිරීම නිර්දේශ කෙරේ. සාර්ථක පැපොල් වගාවක් සඳහා වසර පුරා හොඳින් ව්‍යාප්ත වූ වර්ෂාපතනයක් (ආසන්න වශයෙන් මසකට 100 mm) අවශ්‍ය වේ. එසේ නොමැති වූවිට සාර්ථක ඵලදාවක් ලබා ගැනීම සඳහා වියලි කාලයේදී ජල සම්පාදනය කිරීම අවශ්‍ය වේ.

පස

හොඳින් ජල වහනය වන, කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු, සාරවත්, ගැඹුරු පසක් තිබීම පැපොල් වගාව සඳහා ඉතා වැදගත් වේ. පසෙහි ස්වභාවික සාරවත් බව අඩු වුවද කාබනික සහ අකාබනික පොහොර මැනවින් භාවිතා කර ජල සම්පාදනය කළ හැකිනම් නිසරු පස්වල වුවද බෝගය සාර්ථකව වගා කළ හැකිය. පැපොල් ගසේ පාමුල අවට දිගු කාලයක් ජලය රඳා පැවතීමෙන් මුල් කුණු වීම සිදුවේ. එනිසා භූ ජල මට්ටම පොලව මතුපිට සිට සෙ.මි. 90-120 පමණ ගැඹුරකින් පැවතීම බෝගයේ සාර්ථකත්වය සඳහා ඉතා වැදගත් වේ.

pH 5.5 -6.5 අතරවීම සුදුසුය. pH 5 ට අඩුවිට හුණු හෝ ඩොලමයිට් පසට එකතු කල යුතුය. වැලි සහිත පසක වගාකරන විට කාබනික පොහොර විශාල වශයෙන් එකතු කිරීමෙන්ද රසායනික පොහොර හා ජල සම්පාදනය නිසියාකාරව සැපයීමෙන්ද බෝග වර්ධනය යහපත්ව පවත්වා ගත හැකිය. වැලි සහිත පසක වගාවේදී බෝරෝන් ඌනතාවය මෙන්ම නෙමටෝඩා ආසාදනයට ද පහසුවෙන් පාත්‍ර වේ. බෝරෝන්, සින්ක්, කොපර් වැනි අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය ද නිසියාකාරව සැපයීමෙන් බෝගයේ වර්ධනය මෙන්ම ගෙඩිවල ගුණාත්මයද යහපත්ව පවත්වා ගත හැකිය.


වර්ෂාපතනය

වර්ෂාපතනය පැපොල් අස්වැන්න කෙරෙහි තදින් බලපායි. සාර්ථක පැපොල් වගාවක් සඳහා වසර පුරා හොඳින් ව්‍යාප්ත වූ වර්ෂාපතනයක් (ආසන්න වශයෙන් මසකට 100 mm) අවශ්‍ය වේ.

සතියක පමණ නියඟ තත්වයක් වවුද බෝග අස්වැන්න අඩුවීමට හේතු වේ. වසර පුරා පැතිරුන මිලිලීටර 1200 පමණ වර්ෂාපතනයක් ඉතා සුදුසු වන අතර වර්ෂාව නොමැති කාලවලදී ජල සම්පාදනය අත්‍යවශ්‍ය වේ. දිගු නියං තත්වවලදී ද්වි ලිංගික පැපොල් මල් හට ගන්නා ශාක වල සරු බවක් නැති (වඳ) පිරිමි මල් හටගනී. එවිට එම කාලවලදී ගෙඩි නොමැති කලාප (skin) හටගනී. එමෙන්ම එක දිගට වර්ෂාපතනය පවතින විට ද්වි ලිංගික මල්වල පරාගධානි ගණන අඩුවී ඒවා ඩිම්බ කෝෂයට බද්ධවීමෙන් අක්‍රමික හැඩවලින් යුත් ඵලහට ගනී. (cat faced/carpelloid)


උෂ්නත්වය

මෙම බෝගය විශාල උෂ්ණත්ව පරාසයක් තුල වගා කල හැක. එසේ වුවද පිණි මිදෙන තරම් අඩු උෂ්ණත්වයක් පැවතීම වගාවට හිතකර නොවේ. එය ඵල හට ගැනීමට හා වර්ධනයට බලපායි. බෝගයේ සාර්ථකත්වය සඳහා 280c - 350c ක්‍ අතර වූ පර උෂ්ණත්වයක් පැවතීම වඩා හිතකරය. උෂ්ණාධික වියළි ප‍්‍රදේශවල පැපොල් ගෙඩි වඩා මිහිරි රසයකින් යුක්තය. උෂ්ණත්වය හා වර්ෂාපතනය යන සාධක එකට බැදී පැවතීමෙන් ඉහත ලෙස අඩු වර්ෂාපතනය හා වැඩි උෂ්ණත්වයකදී ගෙඩි නොමැති කලාප ඇතිවීමද වැඩි වර්ෂාපතනය හා අඩු උෂ්ණත්වයකදී අක්‍රමික ඵලහට ගැනීමද සිදුවේ.






පරාගධානි ගණන අඩුවී ඩිම්බ කෝෂයට බද්ධවීමෙන් ගෙඩි නොමැති කලාප (skips) හටගන්නා අක්‍රමික හැඩවලින් යුත් ඵල (cat faced/carpelloid)

වර්ෂාව නොමැති සතියක පමණ කෙටි කාලයකදී වුවද වයස්ගත පත්‍ර ඉක්මනින් කහ පැහැති වී හැලී යාම ගෙඩි නොඉදී පැවතීම සිදුවේ. මෙවැනි අවස්ථාවකදී හදිසියේ වර්ෂාව ඇති වුවහොත් එකවර ගෙඩි කිහිපයක් ඉදීම සිදු වේ.


දින 3-5 ත් වැනි සුළු කාලයක් වුවද පසේ ජලය රඳා පැවැත්මද බෝගයට අහිතකරය. එක දිගට දින 5ක් පමණ වර්ෂාව පවතින විට ගසේ කොළ පැහැති පත්‍ර 2-3ක් කහ පැහැතිවී එල්ලා වැටී පැවතීම නිර්ක්ෂණය කළ හැකිය.


හිරු එළිය

පැපොල් හිරු එළිය ඉතා ප්‍රියකරන ශාකයකි. සෙවණෙහි වැඩෙන ශාකවල පත්‍ර කුඩාය. පර්ව අතර දුර හා පත්‍ර නටුවේ දිග වැඩි වේ. සරු මල් හටගැනීම අඩුවේ. අස්වැන්න අඩු වේ.

සුළඟ

පැපොල් ගසේ කද කෘෂ්ඨීය නොවන බැවින් එතරම් ශක්තිමත් නැත. තද සුළගින් ගස් මුලින් ඉදිරීමද සිදුවිය හැකිය. පත්‍ර ඉරි කැඩී යාමෙන් ප්‍රභාසංස්ලේෂණය අඩු වී වර්ධනය බාල වේ. මල් හා කුඩා ගෙඩි හැලී යයි. පරිනත වන ගෙඩි වල රසය අඩු වේ.


වගා කරන ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ අනුරාධපුර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, මොණරාගල, පොලොන්නරුව හා අම්පාර වැනි ප්‍ර දේශ වලද මහවැලි එච් හා ජී කලාප වලද වාණිජ වගාවන් හා ගෙවතු වගාවන් විශාල ලෙස දක්නට ලැබේ.



රෝපණ ද්‍රව්‍ය

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට ග්‍රෑම් 20-40 පමණ වන අතර මේ ප්‍රෙභ්දය අනුව වෙනස් වේ. රත්න ග්‍රෑම් 1ක බීජ 100ක් පමණද රෙඩ් ලේඩි බීජ ග්‍රෑම් 1 බීජ 70 පමණද අඩංගු වේ. වගා රටා අනුව හෙක්ටයාරයකට පැල 2000-1600ක් හෝ 1333ක් අවශ්‍ය වේ.


බීජ නිෂ්පාදනය

ප‍්‍රභේදයට අනුකූල ලක්‍ෂණ සහිත බෝගයක් බලාපොරොත්තු වන්නේ නම් එම ප‍්‍රභේදයේම බීජ ලබා ගත යුතුය. සාමාන්‍යයෙන් විවෘත පරාගනයකින් සෑදුනු ඵලයකින් ලබා ගන්නා බීජ වලින් අනුකූල ලක්‍ෂණ නොලැබෙන අතර, 50%ක් පමණ පිරිමි මල් හට ගන්නා ශාක ඇති වීමට පුළුවන (දෙමුහුම් නොවන ප‍්‍රභේද). එම නිසා එක ස්ථානයක පැල 3- 4ක් සිටුවිය යුතුවේ.

පැපොල් මල් ස්වපරාගනය කිරීමෙන් බීජ නිෂ්පාදනය කළ හැකිය. මෙහිදී ස්වපරාගනය කිරීම සඳහා ආවේණික ලක්ෂණ ඇති ද්විලිංගික මල් ඇති ගස් තෝරා ගත යුතුය. එසේ තෝරා ගත් ද්විලිංගික පුෂ්පය පිපීමට ආසන්න විය යුතුය. උදය කාලයේදි සෙ.මි 9X6ක් පමණ ප‍්‍රමාණයේ තෙල් කඩදාසි බෑගයකින් ද්විලිංගික පුෂ්පය වැසිය යුතුය. ද්විලිංගික මල් පරාගනය කිරීමෙන්ද බීජ නිෂ්පාදනය කළ හැකිය.එනම් පිපීමට ආසන්න ද්විලිංගික පුෂ්පයක පරාග ඉවත් කර බෑගයකින් වැසිය යුතුය. පසුව වෙනත් ද්වීලිංගික පුෂ්පයකින් පරාග ගෙන පරාග ඉවත් කළ පුෂ්පයේ බෑගය ඉවත් කොට එම කලංකය මත පරාග තැම්පත් කර නැවත බෑගයකින් වැසිය යුතුය.


බීජ නිස්සාරනය

ඉහත ක‍්‍රම වලින් ලබා ගන්නා ඵල හොඳින් ඉදුනු පසු නෙලා ගත යුතුය. මෙම ඵල වලින් බීජ ඉවත් කර ඒ වටා ඇති ජෙලටීනිමය සිවිය ඉවත් කර හොඳින් සෝදා ගත යුතුය. මෙම බීජ මද පවනේ වියලා ගත යුතු අතර බීජ අව්වේ වියලීම නොකල යුතුය. බීජවල තෙතමනය 9% ක් පමණ විය යුතුය. වියලන ලද බීජ වාතය ඇතුළු නොවන සේ ගේජ් 300 පොලිතීන් මළු වල සීල් කර ඇසිරිය යුතුය. මෙසේ සකස් කර ගත් බීජ කාමර උෂ්ණත්වයේ ගබඩා කිරීමෙන් මාස 8-12 ක පමණ කාලයක් හොඳ ප‍්‍රරෝහණ ශක්තියක් (80%) ඇතිව තබා ගත හැක. නමුත් ශීතකරණය තුල (සෙ. ග්‍රෙ. අංශක 15-16) සීල් කර ගබඩා කිරීමෙන් හොඳ ප්‍රෙරා්හණ ශක්තියකින් යුතුව බීජ අවුරුදු 1 1/2 වුවද කල් තබාගත හැකිය.


තවාන් පාලනය

සාර්ථක පැපොල් වගාවක අඩිතාලම වනුයේ නිරෝගී ශක්තිමත් මනා දිරියකින් යුත් පැලයක් ක්ෂේත්‍රයේ සිටුවීමයි. තෝරාගත් සුදුසු ප්‍රභේදයක බීජ තවාන් බදුන්වල පැල කර ගැනීමෙන් මෙවැනි පැලයක් නිපදවා ගත හැකිය.පැල නිපදවා ගැනීම සඳහා උසස් ගුණාංග සහිත මව් ශාක වලින් බීජ ලබාගත යුතුයි. මෙවැනි මව් ගසක් තෝරා ගැනීමේදී ඉහත ලක්ෂණ තිබිය යුතුය.

  1. ගෙඩිවල ගුණාත්මය උසස් වී.
  2. වැඩි අස්වැන්නක් ලබාදීම.
  3. පැළ සිටුවා අඩු කාලයකදී කඳේ ඒකාකාරීව ගෙඩි හටගැනීම.
  4. ගෙඩි වල මධ්‍යස්ථ දිගකින් යුතු නටුවක් පැවතීම.
  5. එක නටුවකින් ගෙඩි එකක් බැඟින් හටගැනීම.
  6. මධ්‍යස්ථ උසක් සහිත හා මනා වර්ධනයක් සහිත ශක්තිමත් ගසක් වීම.
  7. මුල් වලට වැලදෙන රෝග වෛරස් රෝග හා වෙනත් පළිබෝධ හානි අවම වීම.


නිරෝගී තවාන් පැල



තවාන් බදුන් සැකසීම

බීජ තවාන් කිරීම මුලින්ම වැලි තවානක සිදුකළ යුතුය. වැලි තවානේදී තෝරාගත් හොඳින් වර්ධනය වන ලක්ෂණ පෙන්නුම් කරන පැල පොලිතීන් බඳුන් වලට මාරු කළ යුතුය.
උස 25cm හා පළල 15cm වන පොලිතීන් බදුන් සුදුසුය. ජලවහනය සඳහා පහළ කොටසේ සිදුරු කීපයක් සෑදිය යුතුය. හොදින් දිරූ කොම්පෝස්ට් 1 මතුපිට පස් 1, වැලි කොටස් 1 මිශ්‍රණයක් සකස්කර ඒවායින් බඳුන් පිරවීම සිදුකල යුතුය.

බඳුන් මිශ‍්‍රණය ජීවානුහරණය කිරීම

මේ සඳහා ක‍්‍රම කීපයක් භාවිතා කෙරේ.
1. හිිිරු එළිය
හොඳින් හිරු එළිය ලැබෙන ස්ථානයක් තෝරා ගෙන ගේජ් 300 පොලිතීනයකින් දින 10 ක් පමණ වසා තැබීම.

2. ජල වාෂ්ප
නටන උණු ජලය සහිත ස්ථානයක යම් රඳවනයක තවාන් මාධ්‍ය විනාඩි 15 ක් පමණ තැබීම

3. රසායනික ද්‍රව්‍ය
කැප්ටාන්, තිරාම් වැනි ත්‍ථලීර නාශකයක් නිර්දේශිත ප‍්‍රමාණයක් දියකර තවාන් මාධ්‍යය හොඳින් තෙමීම මගින් තවාන් මාධ්‍යය ජීවානුහරණය කරගත හැකිය









බදුන්වල බීජ සිටුවීම

පැය 24ක් ජලයේ පොඟවාගත් බීජ වැලි තවානක තවාන් කිරීමෙන් බීජ ප්‍රෙරා්හණය ඉක්මන් කරයි. බීජ සෙන්ටිමීටර් 1ක් ගැඹුරට දැමිය යුතුයි. එම බඳුන් හොඳින් වාතාශ්‍රය හා හිරු එළිය ලැබෙන ස්ථානයක පිළිවෙලට ඇසිරීම සිදුකල යුතුය. වර්ෂාවෙන් ආරක්ෂාවන වහලයක් සහිත හිරු එළිය ලැබෙන විවෘත මඩුවක් වැනි ස්ථානයක් මේ සඳහා වඩාත් උචිත වේ.










ජල ඌණතාවය නිසා පත්‍ර උඩ අතට හැරුන බීජ පැල

බීජ තවාන් කිරීමෙන් දින 12-20 අතර කාලයේදී බීජ ප්‍රරෝහණය වී පැල පස මතුපිට පැමිණෙයි. පැලවල පත්‍ර 2-5ක් පමණ ඇති වූ පසු සතියකට වරක් දියර පොහොරක් මල් බාල්දියක් මඟින් පැල වලට ලබාදීමෙන් ශක්තිමත් කඳක් සහිත නිරෝගී පැලයක් ලබා ගත හැකිය. බීජ බදුනේ තැන්පත් කර මාස 1 ½ පමණ ගත වීමෙන් ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු පැලයක් ලබා ගත හැකිය.

තවාන් රෝග අතර දියමලන් කෑම (Damping off) කඳ පාමුල කුණුවීම (Collar rot) හා මුල් කුණුවීම (Root rot) ප්‍රධාන වේ. දියමලයන් කෑම Colletotrichum spp. මඟින්ද පාමුල කුණුවීම Cylindro caladium crotalariue මඟින්ද මුල් කුණුවීම Phytopthora, Pythium Rhizoctonia යන දිලීර වලින්ද ඇති කරයි.

ආරම්භයේදී තවාන් මාධ්‍ය හොඳින් ජීවානුහරණයෙන් රෝගය පාලනය කල හැකිය. නැතහොත් තවානේ රෝගය දක්නට ලැබෙන විට කැප්ටාන්, තිරාම්, හෝමායි වැනි දිලීර නාශකයකින් ග්‍රෑම් 1ක් ජලය ලීටරයකට වන ලෙස සාදාගත් ද්‍රාවණයකින් පැලවල මූල පද්ධතිය අවට ප්‍ර දේශය තෙත්වන ලෙස යෙදීම සුදුසුයි. බදුන් තුල ජලය මනා ලෙස බැස යාමට සකස් කල යුතුයි.

තවාන් කාලයේදී පිටි මකුණා (Mealy bug) හානියද දැකිය හැකිය. Paracoccus marginatus ලෙස හැඳින්වෙන මෙම කෘමියා පත්‍රවල යටි පැත්තේ නාරටිවල ඒකරාශී වී යුෂ උරා බොමින් විෂක්ද මුදා හරියි. හානිය දුටු විගස ඉම්ඩාක්ලෝප්‍රිඩ් ඇසිටමයිප්‍රිඩ් වැනි කෘමිනාශකයක් භාවිතා කිරීමෙන් හානිය උග්‍රවීම හා පැතිරීම වලක්වා ගත හැකිය.



පිටි මකුණාගේ හානිය

වගා පිළිවෙත්

ක්ෂේත්‍රය සැකසීම

පස හොඳින් සී සා කැට පොඩිකර ගන්න. පැපොල් වගාව සඳහා කාබනික ද්‍රව්‍ය අඩංගු හොඳින් ජලය බැසයන ගැඹුරු සාරවත් පසක් තිබිය යුතුය. එමෙන්ම පාංගු ගැඹුර අඩු ක්ෂේත්‍රවල පැපොල් සාර්ථකව වගාකල නොහැකිය. ජලවහනය තරමක් දුර්වල මැටි සහිත පසක් නම් 60m පමණ උස 1-1 1.2m පමණ පළල වැටි සකස් කර ඒවා මත සිටුවීමෙන් මනාව වර්ධනය වේ. සුළං වැඩි ප්‍රදේශ වල මෙලෙස වගාවේදී ආවරණ සැකසීම වැදගත්ය. ක්ෂේත්‍රයේ ජල වහනය හොදින් සිදුවීමට කාණු පද්ධතියක් සහ පාංශු සංරක්ෂණ ක්‍රමයක් අනුගමනය කිරීම වැදගත් වේ.

වළවල් සැකසීම














2.5m පරතරයෙන් යුතුව අඩි 2 x 2 x 2 (සෙ.මි. 45 x 45 x 45 ) ප්‍රමාණයේ වළවල් කපා ලත යුතුය. වල කැපීමේදී මතුපිට පස් කොටස වෙනම පැත්තකට වන ලෙස ඉවත්කර එයට හොදින් දිරූ ගොම/කොම්පෝස්ට් තාච්චි 2ක් පමණ මිශ්‍ර කර වල නැවත පිරවීම කළ යුතුය. pH 5 ට අඩු පසක් නම් වල පුරවන විට ඩොලමයිට් ග්‍රෑම් 500ක්ද පස් වලට මිශ්‍ර කල යුතුය. පොලව මට්ටමට වඩා අඩියක් පමණ උස්ව පිහිටන සේ පිරවිය යුතු අතර මෙම කටයුතු පැල සිටුවීමට සති 1-2කට පෙර සිදුකල යුතුය. පැල සිටුවීමට දින 2-3කට පෙර මූලික පොහොර යොදා වලේ උඩ කොටසේ පස් සමඟ හොඳින් මිශ්‍ර කර ජල සම්පාදනය සිදු කල යුතුය.

පැල සිටුවීම

ක්ෂේත්‍රයේ සිටුවීමට සතියකට පමණ පෙර සිට ක්‍රමයෙන් හිරු එළියට නිරාවරණය කරමින් පැල දැඩි කල යුතුය. ජල සම්පාදනය දින 2-3කට වරක් පමණ යෙදීම කල යුතුය. වැසි සහිත කාලගුණයකදී හැර සාමාන්‍ය දිනක නම් පැල සිටුවීමට සවස් කාලය වඩාත් සුදුසු වේ. පොලිතින් කවරය කපා ඉවත් කර ක්ෂේත්‍රයේ සිටුවීම වැදගත් වේ. සිටුවීමෙන් පසු පොල් අතු/ වෙනත් සුදුසු දෙයකින් පැල ආවරණය කර ජල සම්පාදනය කළ යුතුය. මූල පද්ධතිය ක්ෂේත්‍රයේ හොදින් සංස්ථාපනය වන තුරු සෙවන ඉවත් නොකල යුතු අතර අවශ්‍ය පරිදි දිනපතා ජල සම්පාදනය කල යුතුවේ.

හෙක්ටයාර එකකට අවශ්‍ය පැල ගණන

පරතරය 2m x 2.5m නම් -පැල 2000

පරතරය 2.5m x 2.5m නම් -පැල 1600

පරතරය 2.5m x 3m නම් -පැල 1333

එක් බීජ පැලයක් එක් වලක සිටුවීම සුදුසු වේ. විවෘත පරාගනයෙන් ලබාගත් ඵල වල බීජ වලින් ලබාගන්නා පැල නම් වලකට පැල 3ක් බැඟින් සිටුවිය යුතුය. ඒවායේ මල් හටගත් පසු පිරිමි ගස් ඉවත් කර එක් සරු පැලයක් එක් වලකට සිටින සේ වගාව සකස් කර ගන්න.

පොහොර යෙදීම

පොහොර නිර්දේශය



බිංදු ජල සම්පාදනය යටතේ නිර්දේශිත පොහොර එක් ගසකට ග්‍රෑම් වලින්

පොහොර යොදන අවස්ථාව

යුරියා

ත්‍රිත්ව සුපර් පොස්පේට්

මියුරේට් ඔෆ් පොටෑෂ්

පැල සිටුවීමට දින 2කට ප්‍රථම අතින් යෙදිය යුතුය.

60

40

130

යුරියා (ග්‍රෑ)

ෆොස්ෆරික් අම්ලය (මි.ලී.)

මියුරේට් ඔෆ් පොටෑෂ් (ග්‍රෑ)

පැල සිටුවා මාස 2 සිට දින 3කට වරක් මල් පිපෙන තුරු

2.0

0.5

4.0

ඉන්පසු දින 3කට වරක්

2.5

0.5

5.0


පැල සිටුවීමට සති 2කට පෙර වලකට කි.ග්‍රෑම් 10 බැගින් කාබනික පොහොර (ගොම හෝ හොදින් දිරූ කොම්පෝස්ට්) යොදන්න. තෙත් කලාපයේ පසෙහි pH අගය 5 ට අඩු විට පැල සිටුවීමට සති 2ට පෙර වලකට ඩොලමයිට් ග්‍රෑම් 500ක් යොදන්න. මල් පිපෙන අවස්ථාවේ සිට සෑම මාස 3ට වරක් බොරැක්ස් ග්‍රෑම් 5ක් ගසට යොදන්න.

වෙනක් පලතුරු බෝග වලට සාපේක්ෂව පැපොල් බෝගය පොහොර සඳහා දැඩි ප්‍රතිචාරයක් දක්වන බැවින් ඉහත නිර්දේශය අනුව මාස 2ට වරක් පෙහොර යෙදීම අත්‍යවශ්‍යය. එමෙන්ම තවදුරටත් පොහොර ඌණතා ලක්ෂණ හෝ බෝග වර්ධනයේ අඩුවීමක් පෙන්වයි නම් මෙම නිර්දේශිත පොහොර ප්‍රමාණයෙන් අඩක් හෝ මුළු ප්‍රරමාණයම මසකට වරක් යෙදීම සුදුසුය. එසේ නොමැති නම් සති 2කට වරක් පමණ දියර පොහොර යෙදීම අවශ්‍ය වේ. පොහොර යොදන සෑම වාරයකම පසේ තෙතමනය රදවා තබාගැනීම වැදගත්ය. පොහොර යොදනවිට ශාකයේ පත්‍ර වියනේ කෙළවර මායිම සිට කද දිශාවය අගල් 6 පමණ පළල් රවුමක් ලෙස යොදා ශාකයේ මුල් වලට හානි නොවන ලෙස පස් සමඟ මිශ්‍ර කල යුතුය.

නිර්දේශිත පොහොර යෙදීමේදී බිංදු ජල සම්පාදනය යටතේ පොහොර කාර්යක්ෂමව යෙදිය හැකි අතර කම්කරු ග්‍රමය හා වියදම අඩු කරගත හැකිය. පොස්පේට් ජලයේ දිය නොවන අතර ඒ සඳහා ජලයේ දියවන පොස්පේට් වර්ගයක් යොදාගත යුතු වේ. බිංදු ජල සම්පාදනයේදී එම මිශ්‍රණය දින තුනකට වරක් ජල සම්පාදනයෙන් යැවිය යුතුය. නමුත් පොස්පරික් අම්ලය මිලෙන් අධික නිසා ඒ වෙනුවට සාන්ද්‍ර සුපර් පොස්පේට් ප්‍රමාණය පසට එකතු කළ හැකිය.

රසායනික පොහොර මෙන්ම කාබනික පොහොර යෙදීමද ඉතා වැදගත්ය. කාබනික පොහොර යෙදීමෙන් ඇතැම් අංශු මාත්‍ර මල ද්‍රව්‍ය ශාකයට උරාගත හැකි වීමද පසේ ව්‍යුහය දියුණුවීමෙන් සාර්ථක මූල පද්ධතියක් ඇති වීමද එමඟින් රසායනික පොහොර අවශෝෂණය කාර්යක්ෂම වීමද සිදුවේ. කාබනික පොහොර ප්‍රමාණය මාස 6කට වතාවක් වත් බෝගයට යෙදීම ඉතාමත් යෝග්‍ය වේ.

මල් අනුව ශාක හදුනාගැනීම

පැපොල් පැලයක් සිටුවා මාස 2-3 කදී මල් හට ගැනීම සිදු වේ. සාමාන්‍ය ලෙස ගෙවත්තක වැඩෙන බාහිර පරාගනයට විවෘත වූ ශාකයකින් ලබාගත් බීජ පැලවීමෙන් ප්‍රධානව මල් වර්ග 3ක් හට ගන්නා ශාක දක්නට ලැබේ.

පිරිමි මල් දරන ශාක

දිගටි අක්ෂයක් සහිත අතු බෙදුන පුෂ්ප මංජරියක හටගන්නා පිරිමි මල් දරන සාමාන්‍ය භාවිතයේ රෑන් පැපොල් ලෙස හදුන්වන මේවායේ මල් වල ඇත්තේ සරු රේණු 10ක් පමණි. ඩිම්බ කෝෂයක් නැත ඉතාමත් කලාතුරකින් සිදුවන කාලගුණ විපර්යාසයකදී හැර මෙම ගස් කිසි විටෙක ඵල නොදරයි.

ගැහැණු මල් දරන ශාක

තනි තනිව හටගන්නා ගැහැණු මල් සහිතයි. ශාක මෙම මල් වල රවුම් හැඩැති සාපේක්ෂව විශාල ඩිම්බකෝෂය ඇත. රේණු නැත. විශාල කලංකය කොටස් 5 කට බෙදී ඇත. රවුම් හැඩැති ගෙඩි හටගනී.

ද්විලිංගික මල් දරන ශාක

තනි තනිව හෝ කුඩා පොකුරු (මල් 2-5) ලෙස හටගන්නා ද්වි ලිංගික මල් දරණ ශාකයි. මෙම මල් වල දිගැටි හැඩැති ඩිම්බ කෝෂයක් පවතී. සරු රේණු 10ක් ඇත. කලංකය ස්ත්‍රී ලිංගික මල් තරම් විශාලව වැඩී නැත. දිගටි හැඩැති ගෙඩි හටගනී.

පිටරටින් ආනයනික දෙමුහුම් වර්ගවල හෝ මෙරට දෙමුහුම්/නුමුහුම් වර්ග වගාවක මෙම මල් දරන ශාක අතුරින් දක්නට ලැබෙන්නේ ස්ත්‍රී ලිංගික මල් හටගන්නා ශාක හා ද්වි ලිංගික මල් හට ගන්නා ශාක පමණි. ඵල නොදරන ගස් ඇති නොවේ. මෙම දෙමුහුම් වර්ග වල ස්ත්‍රී ලිංගික මල් වලින් හටගන්නා ගෙඩි රවුම් වන අතර ද්වි ලිංගික මල් වලින් හටගන්නා ගෙඩි දිගටි හැඩයක් ගනී.

ජල සම්පාදනය

නිවර්තන බෝග ලක්ෂණ පෙන්නුම් කරන පැපොල් ශාකය සඳහා වර්ෂාපතනයෙන් ප‍්‍රමාණවත් ජලය නොලැබෙන විටදි ජල සම්පාදනය කළ යුතුයි. නිසි ආකාර පාංශු තෙතමනය පවත්වා ගැනීම ඉතා වැදගත්වන අතර පස මතුපිට තෙතමන තත්වය නිරතුරුව රඳවා ගැනීමෙන් පාංශු වාතනය දියුණු කළ හැකිවේ.

පැපොල් ශාකයේ මේරීමේ අවධිය හැරුණුවිට බීජ පැළ, වර්ධක හා ප‍්‍රජනක අවධීන් වල පාංශු තෙතමන තත්වය ක්‍ෂේත‍්‍ර ධාරිතා අවස්ථාවේ තබාගත යුතුවේ. පැපොල් ගෙඩි මේරීමේ අවධියේදී පාංශු තෙතමන තත්වය ක්‍ෂේත‍්‍ර ධාරිතා මට්ටමින් 30% - 40% ක ප‍්‍රමාණයක් හානි වන අවස්ථාව දක්වා (පස තරමක් වියළී යාමට හැරීමෙන්) අඩු මට්ටමක පවත්වා ගැනීමෙන් ඉදුණු පැපොල් වල පැණි රස භාවය (Brix Value) වැඩිකර ගැනීමට ඉවහල් වේ. මෙලෙස තෙතමන තත්වය පාලනය කිරීම ක්‍ෂුද්‍ර ජල සම්පාදන ක‍්‍රමවලදී පහසුවෙන් කළ හැකිවේ.


ජල සම්පාදන ක්‍රම

පැපොල් වගාව සඳහා පිටාර ජල සම්පාදනය, බේසම් ජල සම්පාදනය, ඇලිවැටි ජල සම්පාදනය හි බිංදු ජලසම්පාදනය යන ක්‍රම භාවිතා කරන අතර ජල භාවිතයේ කාර්යක්ෂමතාව සලකන විට බිංදු ජල සම්පාදනය වඩාත් යෝග්‍ය වේ. කෙසේ වුවද වගාකරුවාගේ පහසුකම් අනුව මෙය තීරණය වේ. බිංදු ජල සම්පාදනයේදී ඒ සමඟ පොහොර සැපයීමද සිදුකල හැකි බැවින් එමගින්ද වාසියක් සිදුවේ.

ජල සම්පාදන ක‍්‍රමමේ සඳහා මතුපිට ජල සම්පාදන ක‍්‍රම හෝ ක්‍ෂුද්‍ර ජල සම්පාදන ක‍්‍රම යොදාගත හැක.

මතුපිට ජල සම්පාදන ක‍්‍රම

පිටාර ජල සම්පාදනය

පේලි ක‍්‍රමයේදී වගා පේලිය තුළ පරතරය සාපේක්ෂව අඩු බැවින් බේසම් ආකාර ව්‍යුහ සෑදීම අපහසු නිසා පිටාර ජල සම්පාදනය වඩාත් උචිත වේ. මෙහිදී ජලය පාත්ති අතර කාණු දිගේ ගෙන යනු ලබයි. මීට අමතරව පස් වැටි යොදා බේසම් ආකාර ව්‍යුහ සාදා එයට ජල සම්පාදනය කරනු ලබයි. මෙහිදී රවුම් ආකාරයට හෝ කොටු ආකාරයට ව්‍යුහ සාදනු ලැබේ.

වර්ෂාව රහිත වියළි කාලවලදී වැලි පස සහිත විටදී දින 4-6 ක පමණ කාලාන්තරයක් හා මැටී ලෝමීය පසකදී දින 6-8 ක කාලාන්තරයකදී ජල සම්පාදනය කළ යුතුවේ. සීමිත පැළ ගහනයක් සහිත පැපොල් වගාවකට බාල්දි හෝ වෙනත් සරළ ක‍්‍රම මගින් ජල සම්පාදනය කළ හැක.


ක්‍ෂුද්‍ර ජල සම්පාදනය

බෝග අවශ්‍යතාවය

බිංදු ජල සම්පාදනය යටතේ පැපොල් වගාව සඳහා ජල අවශ්‍යතාවය ඇස්තමේන්තු ගත කිරීමේදී වගාකරන ප‍්‍රදේශය හා එහි දේශගුණික කරුණු, වාෂ්පීකරණ උත්ස්වේදන අගය, වගාකරන පාංශු ඛාණ්ඩය හා ආවේණික පාංශු ලක්ෂණ සලකා බලනු ලැබේ.

තවද පැපොල් ශාකයේ වර්ධක අවධීන් බෝග සංගුණක අගය යොදා ගනිමින් බෝග ජල අවශ්‍යතාවය හා ජලය සැපයිය යුතු කාලාන්තරය ඇස්තමේන්තු ගතකර ඒ අනුව ජල සම්පාදනය කළ හැකිය.

විවිධ වර්ධක අවධීන් අනුව බිංදු ජල සම්පාදනය යටතේ ජලය ලබාදිය යුතු ආකාරය

අවධිය

ලබාදිය යුතු ජල ප‍්‍රමාණය (දිනකට පැළයකට ලීටර්)

බීජ පැළ අවධිය

4

පැළ අවධිය

8-12

වර්ධක අවධිය

14-16

පුෂ්පීකරණ හා ඵල දරණ අවධිය

15-20

ජල සම්පාදන කාලාන්තරය දින

1 - 1 1/2 හෝ දින 2


පසේ වයන තත්වය හා කෘෂි දේශගුනික කලාපය අනුව උක්ත වගුවේ ඇති පරාසයන් තුළ අවම හා උපරිම අගයන් භාවිතා කළ හැකිය.

පසේ ජලය රඳවා තබාගැනීමේ හැකියාව දියුණු නම් දෛනිකව උක්ත ජල ප‍්‍රමාණ සපයා පසේ තෙතමන ස්වභාවය අනුව පසේ ජල සම්පාදන කාලාන්තරය දින 2 කට වරක් ලෙස වෙනස්කර ගත හැකිවේ. කෙසේ නමුත් පැපොල් ගස ඇති ස්ථානයේ පසේ පවතින තෙතමනය ක්‍ෂේත‍්‍ර ධාරිතා තත්වයේ තබා ගැනීමට ජල සම්පාදන කාලාන්තරය දින 1 හෝ 3 දක්වා වෙනස් කළ හැක.

ජලය පතිත වන ස්ථානයෙන් ලබාගත් පස් ස්වල්පයක් අත්ලට ගෙන ගුලි කිරීමේදී ගුලියක් ලෙස සෑදේ නම් එය ක්‍ෂේත‍්‍ර ධාරිතා අවස්ථාවේ පවතින බව තීරණය කළ හැක.

අත්ලට ගෙන ගුලි කිරීමේදී ගුලිය නොසෑදේ නම් පස වියළි බවද එසේ ගුලි කිරීමේදී ඇගිලි කරු තුලින් ජලය පිටවේ නම් පසේ අඩංගු ජලය සාපේක්ෂව වැඩි බවද වගාකරුවකු හට ක්‍ෂේත‍්‍රයේ දී පරීක්ෂාකර බැලිය හැක. මෙම තත්වය පසේ වයනය (වැලි, මැටි, ලෝම) අනුව වෙනස් වේ.


ක්‍ෂුද්‍ර ජල සම්පාදන ක‍්‍රම

පිටාර ජල සම්පාදනය හා සැසඳීමේදී ලබාගත හැකි වාසි

- ක්‍ෂුද්‍ර ජල සම්පාදනය මගින් හරි අඩකට ආසන්න ජල ප‍්‍රමාණයක් ඉතිරිකර ගත හැකිවීම
- අස්වනු දෙගුණකර ගැනීමේ හැකියාව හා ඉහළ ගුණාත්මක අස්වනු ලබාගත හැකිවීම
- ජල පොහොර සම්පාදනය (Fertigation) ක‍්‍රියාත්මක කිරීම මගින් පොහොර අවශෝෂණය කාර්යක්ෂමතාවය 90% පමණ දක්වා වැඩිකර ගත හැකිවීම
- වාරයට මෙන්ම අවාරයටද සාර්ථක අස්වනු ලබාගත හැකිවීම
- පාංශු ඛාදනය අවම මට්ටමක තබාගත හැකිවීම
- ජල සම්පාදනය, පොහොර යෙදීම, වල් පැළෑටි මර්ධනය සඳහා වැය වන ශ‍්‍රම ඒකක 60% කින් පමණ ඉතිරිකර ගත හැකිවීම.

මෙවැනි ආකර්ශණීය වූ වාසි අත්කර ගැනීම සඳහා ජල සම්පාදන පද්ධතියක් ස්ථාපිත කර ගත යුතුවේ. මේ සඳහා ස්ථීර ජල ප‍්‍රභවයක් සහිත විටදී ජල පොම්පයක්, ජල පෙරණයක්, පොහොර යෙදීමේ උපාංග කට්ටලයක්, ප‍්‍රධාන නල, උප ප‍්‍රධාන නල, පාර්ශ්වික නල, ඩි‍්‍රපර හෝ විසුරුම් විධිමත් ආකාරයට ක්‍ෂේත‍්‍රයේ ස්ථාපිත කර ගත යුතුවේ.


1 බිංදු ජල සම්පාදනය

එක් පැපොල් ශාක පේලියකට එක් පාර්ශ්වික නලයක් හා එක් ශාකයකට ඩි‍්‍රපර 2 ක් යෙදීමේ ක‍්‍රමය වාසිදායක මෙන්ම වඩාත් සාර්ථක ක‍්‍රමයයි.

ශාකයේ සිට එක් පසෙකට සෙන්ටි මීටර් 45 ක දුරින් ඩි‍්‍රපර 2 ක් ශාකයේ දෙපසට සවිකල යුතුය.


2. විසුරුම් ජල සම්පාදනය

මෙහිදී වගාවේ පහල මට්ටමින් ක‍්‍රියාකරන ක්‍ෂුද්‍ර විසුරුම් භාවිතා කෙරේ. මෙම විසුරුම් හිස්, තෙමීමේ අරය මීටර් 1 1/2 ක් වන හා පැයකට ලීටර් 80-140 ක ජල විසුරුමක් ලබාදෙන ආකාරයේ විය යුතුය. තෙමීමේ අරය මීටර් 2-4ක විසුරුම් හිස් ද භාවිතා කල හැක.

විශේෂයෙන් වියළි කලාපයේ වැලි අධික පස් සහිත ක්‍ෂේත‍්‍ර සඳහා මෙම ජල සම්පාදන ක‍්‍රමය යොදාගත හැකිය. තවද කල්පිටිය වැනි වැලි සහිත ප‍්‍රදේශ සඳහා සෙන්ටි මිටර් 90-120 ක උස් මට්ටමක පවතින විසුරුම් ජල පද්ධතියක් භාවිතා කළ හැක. මේ සඳහා පැයට ලිටර් 300-500 ත් ලබාදෙන තෙමීමේ අරය මීටර් 3-4 ක් වන විසුරුම් හිස් භාවිතා කළ යුතුවේ.

වල් මර්දනය

කුඩා කල සිටම ක්‍ෂේත‍්‍රය වල් පැළෑටි වලින් තොරව තබා ගන්න. වැඩුණු වගාවක ගසේ මුල සිට සෙ.මි 90 ක් පමණ වූ ප‍්‍රදේශයක වල් පැළෑටි වලින් තොරව තබා ගන්න. කඳ පාමුල සිට පත්‍ර වියන දක්වා ප්‍රදේශය වල් පැළෑටි වලින් තොරව පිරිසිදුව තබා ගැනීමෙන් පොහොර කාර්යක්ෂමතාවය වැඩි වේ. කෙසේ වෙතත් වල් මර්ධනය මුල් වලට හානි නොවන සේ කල යුතුය. මෙම වල් නෙලීම අතින් සිදු කිරීම යෝග්‍ය වේ. ඉතිරි ප්‍රදේශවල වල් පැලෑටි තණකොළ කපන යන්ත්‍රයක ආධාරයෙන්/වල් නාශක භාවිතයෙන්/උදළු වලින් නෙලීමෙන් පාලනය කර ගත හැකිය.

ගස වටා වසුනක් යෙදීම මගින් වල් පැළය ඇතිවීම බොහෝ දුරට පාලනය කරගත හැකියි. කෙසේ වුවත් වගාවේ පේලි අතර වැඩෙන වල් පැළැටි වීසි කැත්තක ආධාරයෙන් වරි̇න් වර කපා දමන්න.


ඵල තුනී කිරීම

ඇතැම් ගස් වල ගෙඩි එකිනෙකට ලන්ව පිහිටිය හැක. ගෙඩි වල විශාලත්වය වැඩිකර ගැනීම සඳහා ගෙඩි එකිනෙකට ගැටීමෙන් විරූපී හැඩයක් ඇතිවීම වලක්වා ගැනීම සඳහාත් කුඩා කාලයේදී ඵල තුනීකරන්න. මෙසේ ඉවත්කල යුතු ගෙඩි අතින් කඩා දමන්න

ආධාරක සවි කිරීම

තද සුළං සහිත ප්‍ර දේශයක වැලි සහිත පසක වගා කල විට හෝ වැටි වල වගා කල විට හොඳින් ඵල දරන ගස් ඇඳ වැටීම සිදුවිය හැකිය. මෙවන් අවස්ථාවල ගසට ආධාරකයක් සැපයීම අවශ්‍ය වේ.

අස්වනු නෙළීම
අස්වැන්න

වගාවට මාස 8-10 පමණ ගතවූ පසු පළමු අස්වැන්න නෙළා ගත හැකිය. එක් ගසකින් වසරකදී ගෙඩි 30 - 40 පමණ ලබාගත හැකිය. ලබාගත යුතු අස්වැන්න තීරනය වන්නේ පසේ සාරවත් කම අනුව හා වගා පාලන කටයුතු මතය. පැපොල් වගාවක් ආර්ථික මට්ටමින් පවත්වාගත හැකි වන්නේ වසර 2 - 3 කාලයකි. මෙයට පසුව හටගන්නා ගෙඩි ප්‍රමාණයෙන් කුඩා වේ. ගස්වල උස වැඩි වීම නිසා අස්වනු නෙලීම අපහසු වේ.

අස්වනු නෙලීම

හොඳින් මේරූ ගෙඩි පමණක් නෙලා ගත යුතුයි. නෙමේරූ ගෙඩි නෙලීමෙන් ඵල ඉදීමේදී මලානික කහ පැහැයක්/දුර්වර්ණයක් ඇති වන අතර මදයේ ගුණාත්මයද අඩුවේ. ගෙඩියේ පහත කෙලවර සිට 15% - 25% ක් පමණ කහපැහැති වූ ගෙඩි නෙලීමෙන් ඉදීමෙන් පසු පිටත පෙනුම ආරක්ෂා වීමද ඇතුලත රසය ගුණය වර්ධනය වීමද සිදුවේ. නෙලා ගන්නා ඵල වල නටුව පිටතට සිටින සේ තැබීමෙන් පැපොල් කිරි පිට පොත්තේ තැවරී අවර්ණවීම වැළකේ.

සාමාන්‍යයෙන් දුරස්ථ වෙළඳ පොළ සඳහා 10% කහ පැහැ වීමද, ආසන්න වෙළඳපළ සඳහා 20-25% වර්ණය කහපැහැ වීමද සුදුසුය. මෙය ප‍්‍රභේදයන් අනුව වෙනස් වේ.

නෙලීමට සුදුසු අවස්ථාවේ පවතින ඵල

ඇසිරීම හා අස්වනු හානි පාලනය

නෙලාගත් ඵල ප්‍රවාහනයට පෙර කඩදාසියකින් ඔතා ගැනීමෙන් ප්‍රවාහනයේදී ඵල එකිනෙක ඇතිල්ලී සිදුවන හානිය වළකා ගත හැකිය. ඔතාගත් ඵල කාඩ්බෝඩ් හෝ ප්ලාස්ටික් ඇසුරුම් බදුන් වල නටුව පහලට සිටින සේ තනි තට්ටුවක් වන ලෙස ඇසිරීම සිදු කල යුතුය. හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක සාමාන්‍ය පරිසර උෂ්ණත්වය යටතේ දින 5-7 පමණ කාලයක් පැපොල් ගබඩා කර තබාගත හැකිය. මේ සඳහා නිවැරදි අවස්ථාවේ අස්වනු නෙලා තිබීම වැදගත්ය. සෙන්ටිග්‍රේට් අංශක 12ක් උෂ්ණත්වයක් යටතේ මෙවැනි පැපොල් ගෙඩි ගබඩා කරගත හැකි කාලය දින 12-15 දක්වා දීර්ග කරගත හැකිවේ.

අස්වනු සැකසීම හා ඇසිරීම
පසු අස්වනු තාක්ෂණය
ශක්තිමත් හොඳින් වාතාශ්‍රය සිදුවන ප්ලාස්ටික් ඇසුරුම් පැපොල් ප්‍රවාහනය සඳහා සුදුසුය. සෑම පැපොල් ගෙඩියක්ම කඩදාසි වලින් ඔතා නටුව පහලට සිටින සේ තනි ස්ථරයක් ලෙස තැම්පත් කොට ප්‍රවාහනය කල යුතුය. අද වෙලඳපොලේ මේ සඳහා විශේෂිත ඇසුරුම්ද ඇත.

ගබඩා කිරීම


හොඳින් වාතාශ්‍රය පවතින ස්ථානයක සාමාන්‍ය උෂ්ණත්වය යටතේ දින 5 - 7 ක පමණ කාලයක් පැපොල් ගබඩා කර තබා ගත හැකිය. මේ සඳහා නිවරැදි අවස්ථාවේ අස්වනු නෙලා තිබීම වැදගත්ය. සෙන්ට්‍රිග්‍රේට් අංශක 12ක උෂ්ණත්වයක් යටතේ මෙවැනි පැපොල් ගෙඩි ගබඩාකර ගත හැකි කාලය දින 20 - 25 පමණ දක්වා දීර්ඝකර ගතහැකිවේ.
රෝග හා පළිබෝධ හානි

රෝග හා පළිබෝධ

රෝග

මුදු පුල්ලි වෛරස් රෝගය


  • පළමුව ළපටි දළුවල කහ පැහැති පැල්ලම් ඇතිවී පසුව පත්‍ර විච්ත්‍රයන් බවට පත්වේ.
  • මෙයට අමතරව කොළ රැලි වැටේ. පත්‍ර වල පළල අඩු වී සමහර ස්ථානවල නාරටි පමණක් ඉතිරි වේ.
  • එසේම කදේ සහ පත්‍ර නටු වල තෙත් පුල්ලි හටගනී.
  • පැපොල් ගෙඩි වල මෙම රෝගය මුදු ලප අකාරයෙන් දැකිය හැක. මේ නිසා මෙය මුදු පුල්ලි වෛරසය ලෙස හඳුන්වයි.
  • මේ රෝගය කූඩිත්තන් විශේෂ ගණනාවක් මඟින්ද යුෂ මඟින්ද රෝගය පැතිරෙයි.

පාලනය

  • ආරම්භකල අවස්ථාවේ සිටම ඉතා ප්‍රවේශමෙන් වගාව නිරතුරුව පරීක්ෂා කරන්න.
  • රෝගී ගස් නිශ්චිත වශයෙන් හඳුනාගත් විගස එම ගස් පුළුස්සා දමන්න.
  • වගාවේ 20% පමණ වෛරස් රෝගය තිබේ නම් එම වගාවෙන් අස්වැන්න ලබාගෙන වගාව අවසන් කරන්න.


ඇන්ත්‍රැක්ස්නෝස් රෝගය


  • දිලීර නිසා හටගන්නා රෝගයකි. මෙය වැඩිපුර ඉදුණු ගෙඩි වලට වැලදේ.
  • මේ රෝගයේ ලක්ෂණයක් වන්නේ මේරිමට ආසන්න ගෙඩිවල පිට පැත්තේ තරමක් ගිලුනු ස්වභාවයක් ඇති කුඩා කවාකාර දුඹුරු පුල්ලි ඇති වීමයි.
  • ගෙඩි ඉදීමට පටන් ගැනීමත් සමඟ මේ පුල්ලි විශාල වී කළු පාටට හැරේ. පසුව එම ස්ථානය මත සුදු පැහැති දිලීර හා රෝස පාට බීජානු දැකිය හැක.
  • දිලීරය නිසා මදය කුණුවී යයි.

පාලනය

  • අස්වනු නෙලන විට ගෙඩිවලට සීරිම් හා තැලීම් ඇති නොවීමට වග බලා ගන්න.
  • මැන්කොසෙබ් හෝ ඩැකොනිල් වැනි දිලීර නාශකයක් යොදන්න.
  • එයට ටීපෝල් හෝ එවැනි තෛලෝද කාරකයක් සමඟ මිශ්‍ර කර ගෙඩිවලට ඉසින්න.
  • අස්වනු නෙලීමට සති 2 කට පමණ පෙර දිලීර නාශක යෙදීම නොකල යුතුය.


පයිටොප්තරා රෝගය


මෙය පයිටොප්තරා දිලීරය නිසා ඇතිවන අතර මෙමඟින් හටගන්නා පුල්ලි තෙත් මෘදු කුණුවීමක් ඇති වී ඉතා සීග්‍රයෙන් මුලු ගෙඩියම කුණුවී පැතිරේ.
පාලනය

  • අස්වනු නෙලන විට ගෙඩිවලට සීරීම් හා තැලීම් ඇති නොවීමට වගබලා ගත යුතුය.
  • මේ සඳහා මැන්කොසෙබ් හෝ ඩැකොනිල් වැනි දිලීර නාශකයක් යොදන්න. මෙයට ටීපෝල් හෝ එවැනි තෛලෝද කාරකයක් සමඟ මිශ්‍රකර ගෙඩි වලට ඉසින්න.
  • අස්වනු නෙලීමට සති 02 පමණ පෙර දිලීර නාශක යෙදීම නොකල යුතුය.


කොල පුල්ලි රෝගය


කොළ පුල්ලි රෝගය බොහෝ විට ඇස්පෙරිස්පොරියම් කැරිකේ ( AsperisporiumCaricae ) සහ කොරිනෙස්පෝරා ( CorynesporaSpp ) නැමති දිලීර නිසා ඇති වේ.

  • ඇස්නෙරිස්පෝරා කැරිකේ දිලීරය වැලදුන පත්‍රයන්හි පළමුව දිය ගැල්වුනු කවාකාර ලප පත්‍ර මතුපිට ඇති වේ.
  • පසුව එම ලප අළුපාටට හුරු දුඹුරු පැහැයට හැරේ.
  • පත්‍ර යටි පැත්තේ කළු පාට ලප දක්නට ලැබේ.
  • තදින් ආසාදනය වූ විට පත්‍ර හැකිලී දුඹුරු පාටවී හැලී යයි.
  • රෝගය ගෙඩිවලට වැලදුන විට මදක් ගිල්වු කවාකාර කළු පැහැති ලප ඇතිවේ.
  • නමුත් මේවා ඇතුලත කොටස් කුණුවීමක් සිදු නොවේ.
  • කොරිනෙස්පෙරා දිලීරය වැලදුනවිට පත්‍ර වල ලා දුඹුරු පැහැති කුඩා කවාකාර පැල්ලම් දක්නට ලැබේ.
  • මේවා පළමුව පහල පත්‍ර වල ඇතිවී ඉහල පත්‍රකරා යයි.
  • මේ පැල්ලම් වටා කහ පැහැති ප්‍රදේශයක් දක්නට ඇත.
  • වර්ෂාවත් සමඟ ඉක්මනින් ව්‍යාප්ත වේ.
  • මේ පැල්ලම් එකටවී විශාලවී පත්‍ර මැරී යාමටද ඉඩ ඇත.
  • රෝගය ගෙඩිවලට වැලදුන විට කුඩා තද පැහැති ගිල්ලුන ලප ඇති වේ.

පාලනය

  • රෝගී පත්‍ර ඉවත්කර මැනෙබ්, ඩැකොනිල් හෝ මැන්කොසෙබ් වැනි දිලීර නාශකයක් ඉසින්න.
  • රෝගය තදින් පැතිරී ඇත්නම් එම දිලීරනාශක දින 10-14 අතර වතාවන් 2 හෝ 3 යොදන්න.
  • දින 14ක් ඉක්මයන තෙක් අස්වනු නෙලීම සිදු නොකරන්න.


මුල් කුණුවීම හා කඳ පාමුල කුණු වීම


මෙම රෝගය ප්‍රධාන වශයෙන් පසෙහි පවතින දිලීරයන් වන පීතියම් සහ පයිටොප්තරා විශේෂයන් මඟින් හටගනී.

  • වැඩුණු ගස්වල වයස්ගත පත්‍ර කහපාට වී කඩා වැටේ.
  • පසුව ගසේ සෙසු පත්‍රද ක්‍රමයෙන් මැලවී යයි.
  • මේ රෝගය පැහැදිලි වශයෙන් හඳුනාගත හැකිවන්නේ මේරූ පත්‍ර සියල්ල කඩා වැටුණු ආකාරයෙන් හා අග්‍රස්ථ පත්‍ර පමණක් කුඩාවට ඉතිරිව ඇති බව පැහැදිලිව පෙනේ.
  • මුල් වල කුණුවීමක් දැකගත හැක. අවසානයේදී ගස මැරී යයි.
  • පැල කුඩා අවධියේදී මේ රෝගයට පහසුවෙන් ගොදුරු වෙයි.
  • කඳ පාමුල කුණුවීමේදී පොත්තේ තෙත් කුණුවීමක් ඇති වේ. පසුව කළු පාටට හැරිය හැක. මෙහිදී ද පත්‍ර කහ පාට වී අවසානයේදී ගස මැරී යයි.

පාලනය

  • මේ දිලීරය ජීවත් වන්නේ පසේ බැවින් තවාන් දැමීමේදී පස් ජීවානුහරණය කිරීම වැදගත්ය.
  • බීජ ද දිලීර නාශකයකින් ප්‍රතිකාර කර සිටුවිය යුතුය.
  • වගාව තුල ජලය රදා නොපැවතීමට අවශ්‍ය පියවර ගත යුතුය.
  • රෝගය පැතිරෙන අවස්ථාවලදී පොළව තෙමෙන සේ තිරාම් හෝ හෝමයි වැනි දිලීර නාශකයක් යොදන්න.



පැපොල් ෆයිටොප්ලාස්මා රෝගය



  • මෑතක සිට පැපොල් වගාවේ දක්නට ඇති රෝගීතත්වයකි.
  • රෝග  කාරකය  ශාකයේ  ෆ්ලෝයම පටකයේ පෙනේර නල සෛල වල බෝහෝ විට ජීවත්  වේ.
  • සෛ  බිත්තියක්  නෙැමැති  න්‍යෂ්ටික ජීවීන් විශේෂයකි.
  • පැපොල් ශාකයට හානිකල විට ගස් කුරුවීම, මල් හා ගෙඩි විකෘති වීම, ශාකයේ පරිනත පත‍්‍ර හැලී යාම, ඉහල පත‍්‍ර වෘන්ත කෙටි වීමෙන්  කුඩුම්බියක  ආකාරයට  ශාකය  දිස්වීම, ෆ්ලෝයම පටක විනාශ වීම, පත‍්‍ර කහපැහැ ගැන්වීම සහ මැරුණු කොටස ඈත්වීම, අවසානයේ අග‍්‍රස්ථය මිය යාම නිසා ගසේ වර්ධනය නැවතී ගස කඩා වැටීම සිදුවේ.
පැපොල් මුදු පුල්ලි වෛරසය සමඟ මිශ‍්‍රව ඇති විට දරුණු රෝග ලක්ෂණ ඇතිකරයි. මෙම රෝගය පැතිරිම  සිදුවනුයේ  ෆ්ලෝයම්  යුෂය  ආහාරයට ගන්නා  පළගැටියන්,  පැළ  කීඩෑවන්  හා  පත‍්‍ර කීඩෑවන් වැනි කෘමීන් මගිනි.

පාලනය

  • දැනට රසායනික පාලන ක‍්‍රමයක් නොමැති අතර රෝගී  ගස්  වහාම  ඉවත්කර  විනාශ  කර  දැමිය යුතුය.
  • නැතිනම් වල දැමිය යුතුය. වල් මර්ධනය කර  වගා  ක්‍ෂේත‍්‍රය  පිරිසිදුව  තබා  ගැනීම. 
  • රෝගය  බෝ  කරන  වාහකයන්  මර්ධනයට පියවර ගැනීමෙන් මෙම රෝගය පාලනයකර ගත හැක.


පැපොල් වගාවේ පළිබෝධකයින්

පිටි මකුණාගේ හානිය



මෙම  කෘමියා  බිත්තර  විශාල  සංඛ්‍යාවක්  දැමීම නිසා  ඉක්මනින්  බෝවී  ඉතා  කෙටි  කාලයකින් විශාල  ගහණයක්  ඇති  වී ශාක පත්‍ර, නටු හා ගෙඩි ආවරණය කරමින් සුදු පැහැති පුළුන් ස්ථරයක් ලෙස වර්ධනය වේ. ශාක  සාරය  විශාල ලෙස උරා බීම නිසා වර්ධනය අඩුවී අවසානයේදී ශාක මැරී යයි. මීට අමතරව මොවුන්ගේ ඛේටය ශාකවලට විෂ  සහිත  බැවින්  පැපොල්  ගෙඩිවල යුෂ උරාබොන ස්ථාන කහ පැහැවේ. තවද කෘමීන් විසින්  බහිස්ස‍්‍රාවීය  කරනු  ලබන  සීනි  ද්‍රාවණය තැන්පත් වූ පත‍්‍ර හා ඵල මත කළු පුස් වර්ධනය වේ.  මින්  ශාකයේ  වර්ධනය  හා  ආහාර නිෂ්පාදනය අඩාල වේ. මේ නිසා අස්වැන්න විශාල ලෙස  අඩුවන  අතර,  අස්වැන්නේ  ගුණාත්මයටද අහිතකර ලෙස බලපායි.

මෙම  පලිබෝධකයා  ආසාධිත  පත‍්‍ර  සුළඟින් ගසාගෙන  යාමෙන්,  කුහුඹුවන්  මඟින්,  මිනිස් ක‍්‍රියාකාරකම්  මඟින්  සහ  උපකරණ  මඟින් සීඝ‍්‍රයෙන්  පැතිර  ගිය  අතර,  ආක‍්‍රමණික පලිබෝධකයෙකු නිසා ස්වභාවික පරපෝෂිතයන් විරල බැවින් වසංගත තත්වයකට පත්විය.


පාලනය

පිටුමකුණාගේ හානිය පාලනයට ඒකාබද්ද පාලන ක්‍රමවේදයක් සමඟ ජෛවීය පාලනයක් අනුගමනය කිරිමෙන් වඩා සාර්ථක ප්‍රථිපල ලබාගත හැක.

පිටිමකුණා ආසාදනය වූ මුල් අවස්ථාවේදීම නිරීක්ෂණය වුවහොත් බුරුසුවකින් එම සතුන් පිස දමා ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි.

එසේම අධික පීඩනයකින් ජල පහරවල් ආසාදිත ස්ථාන වලට ඇල්ලීම මඟින් මෙම සතුන් තාවකාලිකව පාලනය කළ හැක.

හානි වූ කොටස් කපා පුළුස්සා දැමීම.

ඛණිජ තෙල් මිලිලීටර් 50ක් ජලය ලීටර් 10ක අනුපාතයට මිශ්‍රකර දින 10-14ට වරක් ඉසීමෙන්ද මෙම හානිය පාලනය කළ හැක.

නමුත් වසංගත  තත්වයට  පත්වූ  මෙම  පැපොල්  පිටි මකුණා  මර්දනයට  සාම්ප‍්‍රදායික,  භෞතික  හා රසායනික  ක‍්‍රම  ආරම්භයේදී  හදුන්වාදෙනු ලැබුවත්,  ජෛව  පාලනය  සඳහා  ආනයනික පරපෝෂිතයෙකු  හඳුන්වාදීමෙන්  පසු මෙම කෘමියා ස්වභාවික ලෙස පාලනය වේ.


කොරපොතු කෘමීන්




  • කොරපොතු කෘමියා පොත්තේ ඇති යුෂ උරා බී විෂ සහිත ද්‍රාවනයක් පිට කිරීමෙන් මෙය සිදුවේ.
  • එම ස්ථාන කොළ පාටට ඇති අතර අනික් ස්ථාන කහ පාටට තිබේ.
  • මේ කෘමියාගේ හානිය සිදුවන්නේ ගෙඩි වලටය.
  • රවුම් දුඹුරු පැහැති කොරපොතු වැනි කෘමි ඝනාවාස ගෙඩි මත තිබෙනු දක්නට ලැබේ.

පාලනය

  • අධික ආදාධන තතත්ත්වයන් වලදී නිර්දේශිත කෘමිනාශක යෙදීමෙන් පාලනය කළ හැක.
  • කලාතුරකිනන් අධික ලෙස ආසාධන තත්වය දක්නට ඇත.




මයිටා හානිය

  • බොහෝ විට දක්නට ඇත්තේ බීජ පැල වලය.
  • මෙහිදී පත්‍ර යටි අතට නැමී හැකිලී කහ පැහැයක් ගනී.
  • ආසාදනය වූ පත්‍ර යට පැත්තේ නාරටි දිගේ මයිටාවන් දැක ගත හැක.

පාලනය

  • වගා ක්ෂේත්‍රයේ හොඳ සනීපාරක්ෂක තත්ත්වයක් පවත්වාගෙන යාම.
  • කාබනික පොහොර යෙදා වගා ක්ෂේත්‍රයේ පසතුල ජලය රදා පැවතීම වර්ධනය කිරීම.
  • නිසි පරිදි වගාවට ජලය සම්පාදනය කිරීම.
  • ගදපාන (Lantana Camara) ශාකයේ වගාව වටා වැටක් ලෙස සිටුවා පවත්වාගෙන යාම. 
  • නිර්දේශිත ගෙන්දගම් මිශ්‍රණය පත්‍ර යටි අතට ඉසීමෙන් මර්ධනය කල හැක.



ඌනතා රෝග


පැපොල් ගැට රෝගය




  • බෝරොන් ශාකයට අවශ්‍ය පමණට පසෙහි නොතිබුන විට හා එය පසෙහි තිබුනද ශාකයට උරාගත හැකි තත්වයෙන් නොතිබීම නිසා ඇති වේ.
  • කුඩා ගස්වල පත්‍ර කහ පාට වේ. ගසේ අග්‍රස්ථයේ පත්‍ර කුරු වේ.
  • පැපොල් ගෙඩි මත ගැට වැනි නෙරීම් දක්නට ඇත.
  • ගෙඩිය මතුපිට ඝනකම් ස්වභාවයක් ඇති වේ.
  • ගෙඩිවල මදයේ ඇති සීනි ප්‍රමාණය අඩු වේ.
  • මතුපිටින් කිරි වැස්සීම සිදු වේ.
  • මැටි මිශ්‍ර සහ හුණු ප්‍රමාණය අධික පස් වලද, ජලය හොඳින් බැස නොයන ස්ථාන වල වගා කල ඇති ගස් වල මෙය දක්නට ඇත.
  • තවද හොඳින් දිරා නැති කුකුල් පොහොර යෙදීම නිසාද බෝරොන් මූලද්‍රව්‍ය ගසට ලබා ගැනීම අපහසුය.

පාලනය

  • වියලි කාලයේදී පසට නිසි ලෙස ජලය එකතු කිරීමෙන් ද ශාකයට සුදුසු පාරිසරික පසක් සකස් කිරීමෙන් පාලනය කල හැක.
  • තවද පසේ තෙතමනය ඇති අවස්ථාවේ බෝරැක්ස් කුඩු 10 ග්‍රෑම් පසට යොදන්න.
  • මීට අමතරව රත්න වැනි ප්‍රත්රෝධී පැපොල් වර්ග වගා කිරීම.


ඵල වල විවිධ විෂමතාවයන්

ඵල විකෘති වීම


  • මෙය පාරිසරික හේතුන් මත සිදු වේ.
  • පරාගධානිය අස්වාභාවික ලෙස වර්ධනය වී ඵලයේ කොටසක් බවට පත් වේ.
  • රාත්‍රී කාලයේ අඩු උෂ්ණත්වයක් සමඟ අධික තෙතමනය සහ අධික නයිට්‍රිජන් ප්‍රමාණය මෙයට බලපායි.
  • මේ වැනි ගස් වලින් බීජ නිෂ්පාදනය සඳහා ඵල තෝරා නොගත යුතුය.

  • හේතුව මෙතෙක් සොයාගෙන නොමැත.
  • ඵලය ඇතුලත කුහරයේ කුඩා ද්විතීක ගෙඩි හට ගැනීම සිදු වේ.

නිසිලෙස පරාගනය නොවීමෙන් ඇති වන විෂමතාවය


  • පරාග අවශ්‍ය පමණට කලංකය මත පතිත නොවීම නිසා නොයෙක් අසාමාන්‍යතා ඇති වේ.
  • මෙහිදී බීජ නොමැතිව ගෙඩි හටගනී.
  • සුළු බීජ පුමාණයක් පවතින විට ඒවා ඵලයේ කුහරයේ ඉහල කොටසට පමණක් සීමාවී පවතියි.
  • ගෙඩිය ඉදෙන විටදී බීජ පවතින ප්‍රදේශය සාමාන්‍ය පරිදි ඉදෙන අතර ‍අනෙක් කොටස ඉතා සෙමෙන් ඉදෙයි.

ඵලයේ සුදු පැහැති බීජ ඇතිවීම


  • මේ සඳහා ද හේතුව සොය‍ගෛන නැත.
  • බීජ හා මාංශලය පිටත ආවරණයට වඩා අඩු වේගයකින් පරිනත වීම මෙහිදී සිදු වේ.

 

පැපොල් වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු